තිසර පෙරේරා ජාත්‍යන්තර ක්‍රීඩා දිවියට සමුදෙයි

May 3, 2021 at 12:41 PM

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරා ජාත්‍යන්තර ක්‍රිකට් දිවියෙන් සමුගැනීමට තීරණය කර තිබෙනවා. ඔහු මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත දැනුම් දී ඇති බවයි එහි ප්‍රකාශයකයෙකු සඳහන් කර සිටියේ.

වත්මන් ක්‍රිකට් තේරීම් කමිටුව විසින් කණ්ඩායමේ ජේෂ්ඨ ක්‍රීඩකයින්ව ඉදිරි එක්දින තරග සංචාර සඳහා ඇතුලත් කර නොගැනීමට තීරණය කර තිබීම තිසර පෙරේරා ගේ සමුගැනීමට හේතුව වී තිබෙනවා.

මෙම තීරණය නිසා තිසර පෙරේරා සිය ක්‍රීඩා දිවියෙන් සමුගැනීමට තීරණය කර ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රකාශයෙකු සඳහන් කළේ.

ඉදිරි එක්දින තරග සඳහා ඇන්ජලෝ මැතිව්ස්, දිමුත් කරුණාරත්න, දිනේෂ් චන්දිමාල්, සුරංග ලක්මාල් සහ තිසර පෙරේරා වැනි ජේෂ්ඨ ක්‍රීඩකයින්ව ඉදිරියේදී තේරීම් කමිටුව විසින් තෝරා ගැනීමට ඇති ඉඩකඩ අවම බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රකාශකයෙකු ඉකුත් සතියේදී නිව්ස්වයර් වෙබ් අඩවියට ප්‍රකාශ කර සිටියේ.