නිරෝධායන නීති කඩන පිරිස් සොයා රාත්‍රි සමාජ ශාලා, මත්පැන් අලෙවිසැල් ආශ්‍රිතව විශේෂ මෙහෙයුමක්

April 30, 2021 at 12:02 PM

කොවිඩ් වෛරසයේ ව්‍යාප්තිය සමග පොලිසිය විසින් රාත්‍රී සමාජ ශාලා, ආපනශාලා සහ මත්පැන් අලෙවිසැල් ආශ්‍රිතව නිරෝධායන රෙගුලාසි අනුව කටයුතු සිදුවන්නේද කියා සොයා බැලීම සඳහා විශේෂ මෙහෙයුම් ආරම්භ කර තිබෙන බව පොලිසිය පවසනවා.

ඒ අනුව ඊයේ රාත්‍රී 7.00 සිට 10.00 දක්වා කාලය තුළ බස්නාහිර පළාතේ සිදුකළ මෙහෙයුමකින් 1000 කට ආසන්න ස්ථාන සහ පුද්ගලයින් 5,700ක් පරීක්ෂාවන්ට ලක් කළ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ.

එහිදී නිරෝධායන නීති උල්ලංඝණය වන අයුරින් ක්‍රියා කළ කොළඹ, කළුතර සහ මීගමුවේ පුද්ගලයින් 07 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

මහජනතාව නිරෝධායන නීති අනුව කටයුතු කරනවාද යන්න සම්බන්ධයෙන් සොයා බැලීමට රාත්‍රී කාලයේ පොලිසිය විශේෂ විමර්ෂණයක් සිදුකරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියා.