එන්නත් අවශ්‍ය වෙලාවේ හෙලිකොප්ටර් ගන්න යනවා – විපක්ෂ නායක

April 30, 2021 at 6:34 AM

කොරෝනා එන්නත් මාත්‍රා ලක්ෂ හාරසිය හතළිහක් රටට අවශ්‍ය මොහොතක රුපියල් බිලියන ගණනක් වැයකොට රජය එම්.අයි.එකසිය හැත්තෑ එක (M I – 171) වර්ගයට අයත් හෙලිකොප්ටර් මිලදී ගැනීමට සූදානම් වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කර සිටිනවා.

විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කරන ලද්දේ ඉකුත් 28 වෙනිදා නොච්චියාගම හොරුවිල ශ්‍රී තපෝධනාරාම රාජමහා විහාරස්ථානයේ පැවතී ජන හමුවකට එක්වෙමිනි.

“මේ මොහොතේ කොවිඩ් එන්නත් මාත්‍රා ලක්ෂ හාරසිය හතළිහක් අපේ රටට අවශ්‍යයි. මම දුටුවා මිත්‍රවරුනි පුදුමාකාර ප්‍රවෘත්තියක්. අපේ රට සෝවියට් රුසියාවෙන් ඇණවුම් කරන්නට යනවාලු ‘එම්.අයි.එකසිය හැත්තෑ එක’ හෙලිකොප්ටර් යානා හතරක්. එක හෙලිකොප්ටර් යානාවකට ගෙවන්න යනවා ඇමෙරිකානු ඩොලර් ලක්ෂ එකසිය අසූවක්. එතකොට ගණන් හදලා බලනකොට හෙලිකොප්ටර් යානා හතරට වැය කරන්න යනවා ඇමරිකානු ඩොලර් ලක්ෂ හත්සිය විස්සක්.

ජාතික ආරක්ෂාව බොහොම වැදගත්. ඒක ගැන කතාවක් නැහැ. ඒ ගැන තර්කයක් නැහැ. නමුත් එක හෙලිකොප්ටරයකට ඩොලර් ලක්ෂ එකසිය අසූවක් බැගින් හෙලිකොප්ටර් හතරක් රුසියාවෙන් ඇණවුම් කරන්න කාලය ද මේක? ඒ විතරක් නෙවෙයි අපිට ආරංචියි, හමුදාවේ සොල්දාදුවන් ප්‍රවාහනය කරන ආර්මර්ඩ් පර්සනල් කරියර්ස්, ඒවට කියන්නෙ ඒපීසී කියලා. ඒ හමුදාවේ නිලධාරීන් ප්‍රවාහනය කරන ඒපීසී කියන වාහන හැටක් ඇණවුම් කරල තිබෙනවාලු.” විපක්ෂ නායකවරයා කියා සිටියා.