දක්ෂිණ අධිවේගී මාර්ගයේ වෙට්ටු දැමු කාර් රථයේ ගමන් කළ තරුණයින් පිරිස අත්අඩංගුවට

April 13, 2021 at 10:08 AM

දක්ෂිණ අධිවේගී මාර්ගයේ අපරික්ෂාකාරී ලෙස ධාවනය වූ කාර් රථයේ රියැදුරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවත් ඔහුගෙන් ලද තොරතුරු මත එම රථයේ ගමන් කළ සෙසු සැකකරුවන් සිව්දෙනා ද මේ වන විට පොලිසිය විසින් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කර සිටිනවා.

අධීවේගී මාර්ගයේ ගමන් කරන කාර් රථයක කවුළු මත හිඳ සිරුරු එළියට පෙනෙන සේ ගමන් කරන තරුණයන් කිහිප දෙනෙකු දැක්වෙන වීඩියෝවක්
සමාජ මාධ්‍යවල හුවමාරු වූ වීඩියෝවක පසුගියදා හුවමාරුවූවා. ඒ අනුව පොලිසිය විසින් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අකුරණ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 18-20ත් අතර පිරිසක් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියා.

මෝටර් වාහන ආඥා පනතේ වැරදි සහ අයුතු අවහිර කිරීම සහ අයුතු ජනරාශියක සාමාජිකයින් වීම යන චෝදනා යටතේ ඔවුන්ට එරෙහිව චෝදනා ගොනු කර ඇති අතර ඔවුන් අද දිනයේදී පානදුර මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.