ස්වර්ණමහල් ෆයිනෑන්ෂියල් සර්විසස් ආයතනයේ ව්‍යාපාර කටයුතු අත්හිටුවයි

April 13, 2021 at 8:40 AM

වහාම ක්‍රියාත්මක වන පරිදි ස්වර්ණමහල් ෆයිනෑන්ෂියල් සර්විසස් ආයතනයේ ව්‍යාපාර කටයුතු ඊයේ සිට අත්හිටුවීමට ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගෙන ඇත.

ආයතනයේ මූල්‍ය තත්ත්වය අඛණ්ඩව පසුබෑමට ලක්වීම හේතුවෙන් මීට පෙර 2020 ජුලි 13 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි ස්වර්ණමහල් ෆයිනෑන්ෂියල් සර්විසස් පීඑල්සී සහ එහි මව් සමාගම වන ඊටීඅයි ෆිනෑන්ස් ලිමිටඩ් ආයතන දෙකේ ව්‍යාපාර කටයුතු අත්හිටුවනු ලැබීය. එහෙත් ආයතනයේ ව්‍යාපාර කටයුතු යථා තත්ත්වයට පත් කිරීම සඳහා යෝජනාවලියක් ඉදිරිපත් වී නොමැති අතර ආයතනයේ මූල්‍ය තත්ත්වය අඛණ්ඩව පසුබෑමට ලක්ව තිබේ.

කෙසේ වෙතත් තැන්පත්කරුවන්ගේ තැන්පතුවලින් කොටසක් ආපසු ගෙවීම සඳහා 2021 ජනවාරි 13 වැනිදා සිට තෙමසක සීමිත කාලසීමාවකට ආයතනයේ ව්‍යාපාර කටයුතු යළි තාවකාලිකව ආරම්භ කෙරිණි. ඒ යටතේ තැන්පත්කරුවන්ගෙන් 94%කට රුපියල් මිලියන 665.6ක මුදලක් 2021 මාර්තු මස අවසන් වන විට ගෙවා ඇතැයි මහ බැංකුව ප්‍රකාශ කරයි.

දැන් නැවතත් ආයතනයේ ව්‍යාපාර කටයුතු අත්හිටුවීමෙන් අනතුරුව මහබැංකුවේ මුදල් මණ්ඩලය විසින් පත් කළ කළමනාකරණ මණ්ඩලය ආයතනයේ කළමනාකරණ කටයුතු අඛණ්ඩව කරනු ඇති අතර ඉතිරි තැන්පත්කරුවන්ට ගෙවීමට නියමිත වන්දි මුදල් දිවයින පුරා මහජන බැංකු මගින් ගෙවීමට නියමිතය.