අන්තර්ජාලයේ අසත්‍ය පුවත්වල වැට බදින නව කෙටුම්පත කැබිනට් මණ්ඩලයට

April 12, 2021 at 10:46 AM

අන්තර්ජාලයේ අසත්‍ය ප්‍රචාරයන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීම සඳහා වන පනත් කෙටුම්පත ඇමැති මණ්ඩලයට යොමු කළ බව අධිකරණ අමාත්‍යාංශය අනාවරණය කළ බවට “අරුණ” පුවත්පත වාර්තාකර සිටිනවා.

අන්තර්ජාලය මගින් සිදුකරන අසත්‍ය සහ හැසිරවීම් මගින් ආරක්ෂාවීමේ පනත් කෙටුම්පත ලෙස මෙය නම්කර ඇත.

ඒ අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් මෙම 19 වැනිදා පැවැත්වීමට නියමිත ඇමැති මණ්ඩල රැස්වීමේදී මෙම පනත් කෙටුම්පත සාකච්ඡා කිරීමට නියමිතය. ද්වේෂ සහගතව ක්‍රියා කරන තැනැත්තන් අන්තර්ජාලය මගින් කරන අසත්‍ය තොරතුරු ප්‍රචාරය හේතුවෙන් වන හානියට එරෙහිව සමාජය ආරක්ෂා කිරීම සඳහා නව නීති හඳුන්වාදීම කාලීන අවශ්‍යතාවක් බව අධිකරණ ඇමැති අලි සබ්රි පෙන්වා දෙයි.

රටේ හෝ යම් ප්‍රදේශයක ආරක්ෂාව සම්බන්ධයෙන්, මහජන සෞඛ්‍ය, මහජන ආරක්ෂාව, මහජන සාමය හෝ රාජ්‍ය මුදල් සම්බන්ධයෙන් රජය වෙනත් රාජ්‍යයන් සමග පවත්වන මිත්‍ර සබඳතා සම්බන්ධයෙන්, විවිධ පුද්ගල කණ්ඩායම් අතර සතුරුකම වෛරය හෝ නොමනාපය පිළිබඳ හැඟීම්වලට පෙලඹවීමකට, රජයේ යම් වගකීමක් හෝ කාර්යයක් ඉටු කිරීම හෝ යම් බලයක් ක්‍රියාත්මක කිරීම පිළිබඳ මහජන විශ්වාසය හීන කිරීමට යන කරුණු කෙරෙහි නීති සකස් කිරීමට කෙටුම්පතෙන් යෝජනා කර ඇත. අසත්‍ය තොරතුරු පතුරුවන ජාලගත ව්‍යාජ ගිණුම් අක්‍රිය කිරීම, නැවත නැවතත් අසත්‍ය තොරතුරු පතුරුවන අන්තර්ජාල වෙබ් අඩවි ලාභ ලැබීමේ හැකියාවන් කපා හැරීම, ඩිජිටල් වෙළෙඳ ප්‍රචාරණ විනිවිද භාවය සහ අසත්‍ය ප්‍රචාරයන් සිදුකරන අවස්ථාවලදී අන්තර්ජාල වේගය අවම කිරීම වැනි ක්‍රියාමාර්ග සඳහා විධිවිධාන ගැනීමටද මෙමගින් යෝජනා කර ඇත.