කුකුළු මස් මිල ඉහළ දැමීමට ඉඩ දෙන්නේ නෑ – ඇමති බන්දුල කියයි : වෙළෙදපලේ කුකුල් මස් කිලෝවක මිල රු.800 ඉක්මවයි

April 10, 2021 at 10:59 AM

ඉදිරි දිනවල කුකුළු මස් මිල කිසිසේත් ම ඉහළ නොයන බවත් කුකුළු මස් මිල ඉහළ දැමීමට කිසිදු අවසරයක් ලබාදී නොමැති බවත් වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන උපුටා දක්වමින් ‘මව්බිම’ පුවත්පත වාර්තාකර සිටිනවා.

හම සහිත කුකුළු මස් කිලෝග්‍රෑම් 1ක මිල වෙළෙඳපොළේ රුපියල් 430ක් බවත් සතොස අලෙවිසල්වලදී හම සහිත කුකුළු මස් කිලෝග්‍රෑම් 1ක් රුපියල් 400කට ලබාගැනීමට හැකි බවත් අමාත්‍ය බන්දුල ගුණවර්ධන පෙන්වා දෙනවා.

මේ දිනවල භාණ්ඩවල මිල සම්බන්ධයෙන් විවිධ දේ ප්‍රචාර වීමට ඉඩ ඇති බවත් සහතික මිලට වඩා වැඩි මිලට භාණ්ඩ අලෙවි කළහොත් ඒ පිළිබඳව පාරිභෝගික සේවා අධිකාරියටත්, 1998 කෙටි දුරකතන අංකයෙන් ලංකා සතොස පාරිභෝගික සේවා ඇමැතුම් මධ්‍යස්ථානයටත් දැනුම්දිය හැකි බවත් අමාත්‍ය බන්දුල ගුණවර්ධන වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

කෙසේ වුවත් මේ වන විට කොළඹ සහ ඒ අවට කුකුල් මස් වෙළෙදුන් පසුගියදා මාධ්‍ය හමුවක් පවත්වමින් සඳහන් කර සිටියේ කුකුල් මස් ගොවිපළෙන් කුකුල් කිලෝවල් රුපියල් 650 කට මිල කර ඇති බවයි. ඒ හේතුවෙන් මේ වන විට කුකුල් මස් කිලෝවක මිල රුපියල් 800-850ත් අතර වන බවයි වෙළෙඳුන් සඳහන් කරන්නේ.