මේ වෙලාවේ නවක ක්‍රීඩකයින්ව මානසිකව වට්ටවන්න හොඳ නැහැ – ප්‍රදර්ශණ තරගය ගැන ඩිල්ෂාන් අදහස් දක්වයි

April 9, 2021 at 6:10 PM

පැවැත්වීමට යෝජිත ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර ක්‍රිකට් තරඟය පැවැත්වීම මේ මොහොතේදී සුදුසු ක්‍රියාවක් නොවන බව ලෙජන්ඩ්ස් කණ්ඩායමේ නායක ටී එම් ඩිල්ශාන් පවසනවා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ටී එම් ඩිල්ශාන් කියාසිටියේ මේ වනවිට තමා නායකත්වය සපයන ලෙජන්ඩ්ස් කණ්ඩායම ඉතා හොඳින් ක්‍රීඩා කරන බැවින් යම් හෙයකින් පැවැත්වීමට යෝජිත තරඟයේ තීරණය සිය කණ්ඩායමට වාසිදායක වුවහොත් එය ජාතික කණ්ඩායම නියෝජනය කරන තරුණ ක්‍රීඩකයන්ගේ මානසිකත්වයට දැඩි බලපෑමක් ඇතිකරන්නක් වනු ඇති බවයි.

පලපුරුදු ක්‍රීඩකයන් ලෙස අප මේ මොහොතේ සිදුකළයුතුව ඇත්තේ ඉදිරියේ පැවැත්වීමට නියමිත ලෝක කුසලාන තරඟාවලිය සඳහා එකවන ශ්‍රී ලංකා තරුණ ක්‍රීඩකයන් හට අවශ්‍ය ශාරීරික හා මානසික ශක්තිය ලබාදීම බව ඩිල්ශාන් කියා සිටියා.

කෙසේ වෙතත් මේ වනවිට ඕස්ට්‍රේලියාවේ පදිංචිව සිටින ඩිල්ශාන් ලෙජන්ඩ්ස් තරඟාවලිය තුළදී සිදුවූ ආබාධයකට ප්‍රතිකාර ලබාගන්නා අතර ඔහු වැඩිදුරටත් කියා සිටියේ මෙම තරඟාවලිය පැවැත්වෙන ආකාරයක් හෝ දිනයක් පිළිබඳව මේ දක්වා තමන්ට හෝ සිය කණ්ඩායමේ කළමනාකරුට කිසිදු නිළ දැනුම්දීමක් සිදුකර නොමැති බවයි.

මෙම ප්‍රදර්ශන තරඟය මැයි මස 4 වෙනි දිම පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක කමිටුවේ සභාපති මහාචාර්ය අර්ජුන සිල්වා පසුගියදා සඳහන් කර සිටියා.