උත්සව සමයේ ඉහළ යන හොරා පොලිස් සෙල්ලම. පොලීසියෙන් අනතුරු ඇඟවීමක්

April 6, 2021 at 7:23 AM

 

උත්සව සමයේ දී ව්‍යාජ පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටින පුද්ගලයින්ගෙන් ප්‍රවේශම් වන ලෙස පොලීසිය පවසයි

ව්‍යාජ පොලිස් නිලධාරින් ලෙස පෙනී සිටිමින් මුදල් කොල්ල කන කණ්ඩායම් ගැන නිරන්තරයෙන් වාර්තා වන අතර ඊයෙත් එවැනි සිදුවීමක් වව්නියාව මයිලන්කුලම ප්‍රදේශයෙන් වාර්තා වී තිබෙනවා .

මයිලන්කුලම ප්‍රදේශයේ නිවසකට මෙලෙස පොලිසියෙන් බව අඟවා ඇතුළු වූ  කණ්ඩායමක් එම නිවසින් රුපියල්  ලක්ෂයකට   අධික මුදලක් පැහැර ගෙන ගොස් තිබෙනවා.

වව්නියාව තම්පනේ පුලියන්කුලම ප්‍රදේශයේ නිවසකට ඇතුළු වූ තවත් එවැනිම කණ්ඩායමක් එම නිවසින් ද රුපියල් ලක්ෂ තුනකට  අධික මුදල් සහ භාණ්ඩ සොරාගෙන ගොස් ඇති බවයි  පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසන්නේ .

එළඹෙන උත්සව සමයේ මෙවැනි ක්‍රියාකාරකම් ඉහළයාමේ  අවදානමක් පවතින බැවින් ඒ පිළිබඳ නිරන්තර අවධානයෙන් සිටින ලෙසටයි පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

නිල ඇඳුමෙන් හෝ සිවිල් ඇඳුමෙන් සැරසී පැමිණෙන පොලිස් නිලධාරීන් සතුව පොලිස් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ හැඳුනුම්පත අනිවාර්යෙන්ම තිබිය යුතු යි.

එම හැදුනුම්පතෙහි අදාළ පොලිස් නිලධාරියාගේ ඡායාරූපය තනතුර සහ පොලිස් දෙපාර්තමේන්තුවේ ලාංඡනය ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක වරයා පවසනවා.

ඔහු වැඩිදුරටත් පවසන්නේ එලෙස පැමිණෙන සෑම පුද්ගලයෙක්ගෙන්ම නිල හැඳුනුම්පත පරීක්ෂාකර බැලීම සඳහා ඉල්ලා සිටීමට සිවිල් වැසියන්ට අයිතියක් ඇති බවයි.

සැකකටයුතු පුද්ගලයකු පිළිබඳ සැකයක් ඇති වුවහොත් වහාම 119 පොලිස් හදිසි ඇමතුම් ඒකකයට දැනුම් දෙන ලෙසත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා  වැඩිදුරටත් ජනතාවට දැනුම් දෙයි.