ප්‍රකාශයක් ලබාදීමට කැරොලයින් ජූරි පොලිසියට

April 6, 2021 at 1:43 PM

2020 ශ්‍රී ලංකා විවාහක රූ රැජින තේරීමේ අවසන් තරගයේදී ලෝක විවාහක රූ රැජිණ තරඟාවලියේ කිරුළු පැලඳු පුෂ්පිකාද සිල්වාට ජයග්‍රාහී කිරුළ පලඳා එය ඉවත්කරනු ලැබු කැරොලයින් ජූරි ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (06) උදෑසන කුරුඳුවත්ත පොලීසියට කැඳවා තිබුණා. ඒ අනුව ඇය අද දිනයේ දී ප්‍රකාශයක් ලබාදීමට පොලිසිය වෙත පැමිණ තිබුණා.

කැරලොයින් ජූරි ගේ හැසිරීම සම්බන්ධයෙන් සිය සංවිධානයේ කනස්සල්ල පළකරන බව ලෝක විවාහක රූ රැජිණ තරඟාවලියේ සංවිධායකයින් පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් සඳහන් කරන්නේ, මෙරට සංවිධායකයින් විසින් ලෝක විවාහක රූ රැජිණ තරඟාවලිය වෙනුවෙන් නීත්‍යානූකූලව විවාහක වී ඇති කාන්තාවක් ඉදිරිපත් කරන්නේ නම් තරඟාවලිය සඳහා ඇය පිළිගන්නා බවයි.

2020 ශ්‍රී ලංකා විවාහක රූ රැජින තේරීමේ තරගය නෙළුම් පොකුණ රඟහලේ දී පසුගියදා පැවැත්වුණු අතර එහි ජයග්‍රාහී කිරුළ හිමිවූයේ පුෂ්පිකා ද සිල්වාටයි.

ඇයට කිරුළ පැලඳවූයේ ලෝක විවාහක රූ රැජින ලෙස පසුගිය වසරේ තේරී පත් වූ කැරොලයින් ජූරි විසිනි.

නමුත් ජයග්‍රහණයේ උණුසුම අතරේම කැරලොයින් ජූරි ප්‍රකාශයක් කරමින් සඳහන් කළේ, කිරුළ හිමි වූ පුෂ්පිකා ද සිල්වා දික්කසාද වූ තැනැත්තියක් වන බැවින් කිරුළ හිමිවන්නේ දෙවන ස්ථානය හිමිවූ තරඟකාරියට බවයි.

ඒ අනුව කැරොලයින්, පුෂ්පිකාට පැලඳවූ ජයග්‍රාහී කිරුළ ඇගෙන් ඉවත් කර තරගයේ දෙවන ස්ථානය දිනාගත් ආශියා බස්නායකට පැලඳවිය.

එම සිදුවීම සමාජ මාධ්‍ය තුළ දැඩි කතාබහට ලක් වු අතර, ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ තේරීමේ අවසන් තරගයේදී එම සිද්ධිය සම්බන්ධව ලෝක විවාහක රූ රැජිණ තරගාවලියේ සංවිධායකයින් සිය කනස්සල්ල පළකරමින් අදාළ නිවේදනය නිකුත් කර තිබේ.

එමෙන්ම කැරොලයින්ගේ හැසිරීම සම්බන්ධයෙන් අධ්‍යයනයක් සිදුකර අවශ්‍ය පියවර ගන්නා බව ද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ තේරීමේ තරඟයේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරන චන්දිමාල් ජයසිංහ මහතා විසින් කැරලොයින් ජූරිගේ හැසිරීම සම්බන්ධයෙන් සමාව අයදින ලෙස ඉල්ලා ප්‍රකාශයක් සිදුකරන ලෙසට ඉල්ලීමක් කර ඇති බවද එම නිවේදනයේ සඳහන් වන්නේ.