දිස්ත්‍රික්ක 08 කට අවවාදාත්මක නිවේදනයක් : හැකි තරම් ජලය පානය කරන්නැයි දැනුම් දෙයි

April 5, 2021 at 6:13 PM

දිස්ත්‍රික්ක 8ක් සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

මුලතිව්, වව්නියාව, මන්නාරම, පුත්තලම, කුරුණෑගල, අනුරාධපුර, පොළොන්නරුව හා මොනරාගල දිස්ත්‍රික්ක සඳහා එම උණුසුම් තත්ත්වය බලපා ඇති බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව එම නිවේදනයෙන් වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

එම දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල උණුසුම් දර්ශක එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම “වැඩි අවධානය“ යොමුකළ යුතු මට්ටමක පවතිනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ අනුව එම දිස්ත්‍රික්කවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 32ත් 41ත් අතර දක්වා ඉහළ යා හැකි බව සඳහන්.

මේ හේතුවෙන් වැඩබිම්වල සිටින පුද්ගලයින් ප්‍රමාණවත් ලෙස ජලය පානය කළ යුතු අතර අධික වෙහෙසකාරී කටයුතු සීමා කළ යුතු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

නිවෙස්වල සිටින වැඩිහිටි හා රෝගී පුද්ගලයින් පිළිබඳ සැලකිලිමත් විය යුතු බව ද එම දෙපාර්තමේන්තුව දැනුම් දී සිටියි.