05 හැවිරිදි දරුවාගේ දෑතට මාංචු දැමු අමෙරිකානු පොලිස් නිලධාරින් (VIDEO)

March 29, 2021 at 8:27 PM

අමෙරිකාවේ පස් හැවිරිදි දරුවෙකුගේ දෑත් වලට මාංචු දමා ඔහුව බියට පත්වන අයුරින් පොලිස් නිලධාරින් දෙදෙනෙකු කටයුතු කළ අයුරු දැක්වෙන වීඩියෝවක් හේතුවෙන් එරට තුල ප්‍රබල විරෝධතාවයක් මතුව තිබෙනවා.

අමෙරිකාවේ, මේරිලන්ඩ් ප්‍රාන්ත පොලිසිය විසින් මෙම පස් හැවිරිදි දරුවා ඔහු ඉගෙනුම ලබන පාසැල ආසන්නයේ මාර්ගයේ සිට පොලිස් රථයෙන් යලි පාසැල වෙත රැගෙන යන අයුරු එම පොලිස් නිලධාරින් ගේ නිල ඇඳුමේ සවිකර තිබෙන කැමරාවේ සටහන්ව තිබෙනවා.

පාසැල රැගෙන ඒමෙන් පසු දරුවාව විදුහල්පතිවරයාගේ කාමරයේ පුටුවක හිඳ අඩමින් සිටියදී එක් පොලිස් කාන්තා නිලධාරිනියක් විසින් එම දරුවට සැර කරන අයුරු සහ ඔහු බියට පත්වන ලෙසින් කෑගසනා අයුරු එම වීඩියෝවේ දැක්වෙනවා.

පසුව මෙම දරුවාගේ මවද පාසැලට කැඳවා ඇති අතර එහිදී මවගේ ඉදිරිපිටදීම එක් පොලිස් නිලධාරියෙකු 05 හැවිරිදි දරුවාගේ අතට මාංචු කට්ටලය දමනු ලබන්නේ දරුවාගේ මවද බලවත් විරෝධය නොතකා බවයි එම වීඩියෝවේ දැක්වෙන්නේ.

මෙම සිදුවීම ඉකුත් 2020 වර්ෂයේ ජනවාරි මාසයේ සිදුවී ඇති අතර මේ සම්බන්ධයෙන් දරුවාගේ මව විසින් සිදුකළ පැමිණිල්ලක් අනුව විමර්ශනයක් සිදුකෙරෙමින් පවතියි.