චමින්ද වාස් යලිත් ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු පුහුණුකාර තනතුරට

March 26, 2021 at 11:36 AM

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේගපන්දු පුහුණුකරු ලෙස නැවත වරක් චමින්ද වාස් පත්කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි ද සිල්වා සඳහන් කර සිටිනවා. ඊයේ කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු ඒ බව සඳහන් කර සිටියේ.

“ඒක දැන් ආයෙත් සැරයක් චමින්ද වාස්ගෙන්ම ෆිල් වෙලා තියෙනවා. අපි ආයෙත් චමින්ද වාස් මහතාව අරගෙන තියෙනවා. තව දවස් දෙක තුනකින් ඒ පිළිබඳව මාධ්‍යට දැනුම් දෙනවා. ලංකාවේ ක්‍රිකට් දියුණුවෙන් දියුණුවට යන්න ඕනේ. ඒකට මීට වැඩිය හොඳ කමිටුවක් අපිට හමුවෙලාම නෑ. හම්බවෙන්නෙත් නෑ. අරවින්ද, රොෂාන් මහානාම, මුරලි, සංගා, මහේල මේ ඔක්කොම එකතුවෙලා තමයි මේකේ තීරණ අරගෙන අපිත් සමග සාකච්ඡා කරලා සුහදව කරගෙන යන්නෙ. ඒකෙ කිසිම ගැටලුවක් නෑ.”

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේගපන්දු පුහුණු උපදේශක ලෙස මීට පෙරද චමින්ද වාස් කටයුතු කළ අතර ඉකුත් පෙබරවාරි මස සිය තනතුරින් ඉල්ලා අස්වීමට ඔහු කටයුතුකර සිටියා.

බටහිර ඉන්දීය කොදෙව් හි ක්‍රිකට් සංචාරය සඳහා ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම විදේශගතවීමට පැය 4කට පෙර චමින්ද වාස් ඉල්ලා අස්වීම පිළිබඳව ක්‍රිකට් ක්ෂේත්‍රය තුළ මහත් ආන්දෝලනයක් ඇතිවුවා. ගෙවීම් පිළිබඳව ඇතිවූ මතගැටුමක් මත ඔහුගේ ඉල්ලා අස්වීමට හේතු වී තිබූ බවද එහිදී වාර්තා විය.