මේ වසරේ LPL ක්‍රීඩා කිරීමට සුදානම් – තිලකරත්න ඩිල්ෂාන් : නිව්ස්වයර් වෙත කියයි

March 21, 2021 at 11:24 AM

ඉදිරියේදී පැවැත්වීමට නියමිත ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා ක්‍රීඩා කිරීමට තමන් සුදානම් බව තිලකරත්න ඩිල්ෂාන් පවසනවා. මේ දිනවල රෝඩ් සේෆ්ටි ලෝක කුසලාන තරගාවලියට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායමේ නායකතත්වය දරන්නේද ඔහුයි.

ඉකුත් වසරේද ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියට ක්‍රීඩා කිරීමට තමන් සුදානම් ව සිටියත් අදාළ බලධාරීන්ගෙන් ඒ සම්බන්ධයෙන් නිසි පිළිතුරක් නොලැබුණු බවයි තිලකරත්න ඩිල්ෂාන් Newswire වෙබ් අඩවිය සමග සම්මුඛ සාකච්ජාවකට එක්වෙමින් ප්‍රකාශ කර සිටියේ.

මේ වසරේදී තමන්ව යම් කණ්ඩායමක් විසින් තෝරා ගනු ලැබුවහොත් තමාගේ අත්දැකීම් බෙදා දෙමින් ඔවුන් සමග ක්‍රීඩා කිරීමට බලාපොරොත්තුවෙන් සිටින බවයි තිලකරත්න ඩිල්ෂාන් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

2020 ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියට ක්‍රීඩා කළ විශ්‍රාම ලැබූ ඉන්දීය ක්‍රීඩකයින් රැසක් මේ වන විට රෝඩ් සේෆ්ටි තරගාවලියට ක්‍රීඩා කරනු ලබනවා.