ලෙජන්ඩ්ස් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතර T -20 තරගයක් අප්‍රේල් මාසයේදී : තරගය නැරඹීමටත් අවස්ථාව

March 19, 2021 at 12:04 PM

වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම අතර ක්‍රිකට් තරගයක් ලබන අප්‍රේල් මාසයේ දී පැවැත්වීමේ යෝජනාවක් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ විසින් ඉදිරිපත් කර තිබෙනවා.

මෙම ක්‍රිකට් තරගය විස්සයි 20 තරගයක් ලෙස පැවැත්වීමට අදහස් කර ඇති අතර එයින් ලැබෙන ආදායම කොවිඩ් -19 සඳහා අරමුදල් රැස් කිරීමේ තරගයක් ලෙස පැවැත්වීමට ක්‍රීඩා අමාත්‍යවරයාගේ යෝජනාව වී ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වෛද්‍ය මණ්ඩලයේ සභාපති මහාචාර්ය අර්ජුන ද සිල්වා Newswire වෙබ් අඩවිය වෙත ප්‍රකාශ කර සිටියේ.

මේ වන විට බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරයක් සඳහා සහභාගිවී සිටින ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම ලබන මාසයේදී මෙරටට පැමිණීමෙන් පසු මෙම තරගය පැවැත්වීමට ක්‍රීඩා අමාත්‍යවරයා යෝජනා කර ඇත.

මෙම තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වීමට අදහස් කර ඇති අතර එහි සමස්ත ධාරිතාවයෙන් සීයයට 50 කට තරගය නැරඹීමට අවස්ථාව ලබාදීමට නියමිතයි.

මෙම තරගයට සහභාගිවන ශ්‍රී ලංකා ජාතික පිලේ නායකත්වය දසුන් ශානක දරනු ඇත. ලෙජන්ඩ්ස් කණ්ඩායමේ නායකත්වය දරන්නේ කවුරුන්ද යන්න මෙතෙක් අනාවරණය වී නැහැ.

ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම මේ වන විට තිලකරත්න ඩිල්ශාන් ගේ නායකත්වයෙන් යුතුව ඉන්දියාවේ පැවැත්වෙන රෝඩ් සේෆ්ටි විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියට එක්ව සිටින අතර අද දිනයේ දකුණු අප්‍රිකාව සමග අවසන් පුර්ව වටයේ තරගයට ක්‍රීඩා කිරිමට නියමිතයි.

මෙම ක්‍රීඩා තරගය බොහෝ විට පැවැත්වීමට ඉඩ ඇති බවත් කොවිඩ් -19 වසංගත තත්ත්වය වෙනුවෙන් පවත්වනු ලබන පළමු ආධාර තරගය මෙය වන බවයි මහාචාර්ය අර්ජුන ද සිල්වා සඳහන් කර සිටියා.