අතීතයේ තිබු සාමුහික හැඟීම වර්ථමානයට ගෙනාවොත් අපට ජයගන්න පුළුවන් : 96 ලෝක කුසලානය දිනු කණ්ඩායම හමුවේ අගමැති කියයි (VIDEO)

March 17, 2021 at 12:41 PM

අතීතයේ තිබු සාමුහික හැගීම මනුෂ්‍යත්වයේ කතාව වර්ථමානයට ගෙනාවොත් එය හරහා ජයග්‍රහණයට අඩිතාලම දමා ගත හැකි බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කර සිටිනවා.

1996 ලෝක කුසලාන තරගාවලිය 25 වන සංවත්සරය සැමරීමේ උත්සවයට එක්වෙමින් අගමැතිවරයා මේ බව ප්‍රකාශ කර සිටියා.

” 1996 ලෝක කුසලාන තරගාවලියේ අවසන් පුර්ව තරගය ඉන්දියාව සමග පැවති තරගයේදී ප්‍රේක්ෂකයින් ක්‍රීඩාංගණයට ගල් මුල් ගසන වෙලාවේ හතරේ සිමාව අසල පන්දු රකිමින් සිටියේ කණ්ඩායමේ උප නායක අරවින්ද සිල්වායි. ඒ වෙලාවේ අතිරේක ක්‍රීඩකයෙක් හැටියට හිටපු උපුල් චන්දන අරවින්ද ලඟට ගිහිල්ලා කිව්වා අරවින්ද අයියේ ගල් ගහනවා, ඔයා ෆයිනල් එකට සෙල්ලම් කරන්න ඕන. ඒක නිසා වෙන තැනකට යන්න මම මෙතන ෆීල්ඩ් කරන්නම් කියලා” ඒ වගේ කණ්ඩායම් හැඟීමක් තිබුණා අපේ ක්‍රීඩකයින්ට, අගමැතිවරයා මෙහිදී සිහිපත් කර සිටියා.

ඒ වගේමයි ලෝක කුසලානය දිනලා ලංකාවට ආපු අර්ජුන රණතුංග ඇතුළු පිරිස මුලින්ම ගියේ දිවංගත ගාමිණි දිසානායක මහතාගේ නිවසට. ඒ මෙරට ක්‍රිකට් කේෂත්‍රය වෙනුවෙන් එතුමා කරපු සේවයට ගරු කිරීමක් හැටියටයි. ඒ මනුෂ්‍යත්වයේ කතාවට අප ගරු කරන්න ඕන… අගමැතිවරයා ප්‍රකාශ කර සිටියා.

1996 ලෝක කුසලාන තරගාවලිය ජයග්‍රහණය කිරීමේ 25 වන සංවත්සරයට සමාගාමිව අගමැතිවරයා විසින් අද දිනයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට සමරු තිළිණ ප්‍රදානයක් ද සිදුකරනු ලැබුවා.