පෞද්ගලික අංශයටත් කොවිඩ් එන්නත ගෙන ඒමට අවසර

March 14, 2021 at 3:07 PM

කොවිඩ් එන්නත් ගෙන්වීමට ඇති හැකියාව සලකා බලා ආරක්ෂක ක්‍රමවේදයන්ට යටත්ව පෞද්ගලික අංශයටද අවසර ලබාදීමට පියවර ගන්නා බව කොවිඩ් එන්නත් ගෙන්වීම සම්බන්ධීකරණ කමිටු සභාපති ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග පවසයි.

කොවිඩ් එන්නත් ගෙන්වීම සම්බන්ධයෙන් පෞද්ගලික අංශයෙන් පසුගිය වසරේ නොවැමබර් කළ විමසීමකදී සමාගම් රජයට දැනුම් දී ඇත්තේ 2021 ජුනි මාසයෙන් පසු එන්නත් ආනයනය කිරීමට හැකියාව ඇති බවයි.

එහෙත් ශ්‍රී ලංකාවේ එන්නත්කරණ ප්‍රතිපත්තියට අනුව රජයට කිසිදු මුදලක් ප්‍රතිලාභියාගෙන් අයකර ගැනීමට නොහැක. එම නිසා රාජ්‍ය අංශයෙන්ම එන්නත් ආනයනය මේ වනවිට සිදු කරයි. රුසියාවේ නිෂ්පාදිත ‘ස්පුටිනික්’ එන්නත් මිලියන හතක් ගෙන්වීමටද රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව සැලසුම් කර ඇත. එම එන්නත සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය හිමි නොවුණත් ජාතික ඖෂධ නියාමන අධිකාරිය මේ වනවිට අවසර ලබාදී ඇති බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පවසයි. එම එන්නතක් ඇමරිකානු ඩොලර් 10ක් පමණ වන අතර ශ්‍රී ලංකා මුදලින් රුපියල 2000කට ආසන්න වෙයි. නමුත් ඉන්දියාවේ නිෂ්පාදිත ‘ඇස්කා සෙනිකා’ එන්නත ඩොලර් පහක් පමණ වෙයි.

රුසියාවේ නිෂ්පාදිත ‘ස්පුටිනික්’ එන්නතේ මිල සම්බන්ධයෙන් සමාලෝචනය කිරීම මේ වනවිට ආරම්භ කර ඇතැයි ‘සති අග අරුණ’ කළ විමසීමකදී රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සාමාන්‍යාධිකාරී දිනුෂ දසනායක ප්‍රකාශ කළේය. ඉන්දියාවේ සීරම් ආයතනය නිපදවන කොවිඩ් එන්නත් ලබාගැනීමේ ගැටලුවද මෙතෙක් අවසන්ව නොමැත. එම සමාගම පොරොන්දු වූ පරිදි එන්නත් ලබාදෙන බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ප්‍රකාශ කළද පසුගිය සිකුරාදා (12) පෙරවරුව දක්වා ‘ඇණවුම් ලේඛන’ සංස්ථාවට ලැබී තිබුණේ නැත.

කොවිඩ් එන්නත ශ්‍රී ලාංකිකයන් මිලියන 13කට ලබාදීමට හැකි බව හඳුනාගෙන ඇත. දැනට එන්නත් ලැබී ඇත්තේ දොළොස් ලක්ෂ හැට හතර දහසක් පමණි. අවම වශයෙන් මිලියන 7ක ජනගහනයකටවත් එන්නත ලබාදීමෙන් මරණ හා වයිරස් ව්‍යාප්තිය අවම කරගත හැකි බව ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග කියා සිටියේ.

(අරුණ පුවත්පත)