ධනුෂ්ක ගුණතිලක ගෙන් පොලාර්ඩ් සමාව අයැදි

March 11, 2021 at 9:12 AM

පිටියේ පන්දු රකින ක්‍රීඩකයින්ට බාධා කළ බව පවසමින් (Obstructing the field) හැමෝම පුදුම කරවූ තීන්දුවකින් පසු පිටියෙන් ඉවත්වීමට ධනුෂ්ක ගුණතිලකට ඊයේ තරගයේදී සිදුවිය. ශ්‍රී ලංකා කණ්ඩායමට කොදෙව්වන්ට එරෙහි පළමු තරගයේදී කඩුලු 8ක පරාජයක් අත්වූ අතර ධනුෂ්කගේ ඉවත්වීම ශ්‍රී ලංකා ඉනිමේ පසුබෑමට ප්‍රබල හේතුවක් බවට පත්විය.

දුවද්දී දැවී යාමකට බාධා කළේයැයි පවසමික් කොදෙව් නායක කිරන් පොලාර්ඩ් සිදු කළ ප්‍රබල ඉල්ලීම තුන්වන විනිසුරුට යොමු කිරීමෙන් අනතුරුව ධනුෂ්කට පිටියෙන් ඉවත්වීමට සිදුවිය.

හිටපු කොදෙව් නායක ඩැරන් සැමී සහ ටොම් මූඩි සිය ට්විටර් ගිණුම්වල සටහන් කර තිබුණේ මෙම තීන්දුව නිසා කම්පනයට පත් වූ බවයි.

සමාජ මාධ්‍ය ඔස්සේද මෙම තීරණය පිළිබඳ විවිධ මත මේ වනවිට සංසරණය වෙමින් පවතී.

එවැනි පසුබිමක් තුළ තරගය අවසාන වීමෙන් අනතුරුව කොදෙව් නායක කිරන් පොලාර්ඩ් ධනුෂ්ක ගුණතිලක හමු වී තිබේ.

මෙම හමුවේ ඡායාරූප කොදෙව් නිල ෆේස්බුක් පිටුව තුළ පලකර තිබු අතර ඔවුන් දෙදෙනා ඉතා සමීපව සිය සාකච්ඡාව සිදුකළ අයුරු මෙහි දැකගත හැක.

කෙසේ වුවත් මේ සම්බන්ධයෙන් නිව්ස්වයර් වෙත අදහස් දක්වමින් ධනුෂ්ක ගුණතිලක සඳහන් කලේ “ඔහු සමාව අයැද සිටියා, ඔහු මට කීවේ එම අවස්ථාවේදී ඔහු එය නිසි අයුරින් නොදුටු බවයි. වීඩියෝව දුටු පසු මම කිසිවක් නොකරන බවට ඔහු වටහා ගෙන තිබුණා”යනුවෙනි.

මේරිලෙබෝන් ක්‍රිකට් සමාජය ක්‍රිකට් නීති සම්පාදකයින් විසින් එම සිද්ධිය සම්බන්ධයෙන් පහත දැක්වෙන ට්විටර් සටහන පළකර තිබුණා.