චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමග පුහුණුවීම් සඳහා ශ්‍රී ලංකා පන්දු යවන්නන් දෙදෙනෙකුට ආරාධනාවක්

March 7, 2021 at 1:11 PM

ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) තරගාවලිය සඳහා ක්‍රීඩා කරන චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ පුහුණුවීම් සඳහා සහභාගී වීමට ශ්‍රී ලංකාවේ තරුණ පන්දු යවන්නන් දෙදෙනෙකුට ආරාධනා කර ඇති බව වාර්තා වනවා.

චෙන්නායි සුපර් කිංග්ස් පුහුණු කණ්ඩායම සමඟ පුහුණු වීම සඳහා ආරාධනා ලැබී ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් වන මහේෂ් තීක්ෂණ සහ මතිෂ පතිරණ යන පන්දු යවන්නන් දෙදෙනාටයි.

චෙන්නයි සුපර් කිංග්ස් සංචිතයේ පුහුණුවීම් කටයුතු ඉදිරි දින කිහිපය තුළ ආරම්භ කිරීමට නියමිතයි.

චෙන්නයි සුපර් කිංග්ස් කණ්ඩායමේ අතිරේක ක්‍රීඩකයින් ලෙස තීක්ෂණ සහ මතිෂ ඇතුලත් කර සිටියත් ඔවුන් ප්‍රධාන සංචිතයට නම් කර නොමැත.
කෙසේ වෙතත්, චෙන්නායි සුපර් කිංග්ස් පුහුණු සංචිතයට සමගාමීව පුහුණුවීම් ආරම්භ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් දෙදෙනාට ආරාධනා කර ඇත.

පුහුණු සැසිවාරයට සහභාගී වීම සඳහා මෙම ක්‍රිකට් ක්‍රීඩකයින් දෙදෙනා මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ලිඛිත අවසරය පතා ඇති බව සඳහන්.