ලෝකය හමුවේ හෑල්ලුවට ලක්වන්නේ පාස්පෝට් එක නැතිවීම මත නොවේ තරග ජය ගැනීම හෝ පරාජය වීම උඩයි – ක්‍රීඩා ඇමති (VIDEO)

March 1, 2021 at 3:05 PM

”හැබැයි ඉතිං ලෝකය හමුවේ හෑල්ලුවට ලක් වෙන්නේ පාස්පෝට් එකක් නැති වීම නෙවෙයි, තරග ජයග්‍රහණය කිරීම හෝ පරාජය මත. ඒ හින්දා මගේ ඉලක්කය තරග ජයග්‍රහණය කරන්න” ක්‍රීඩා අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, වීසා ගැටලුවකට මුහුණ දී සිටින පන්දුවාර 20 යි 20 ක්‍රිකට් නායක දසුන් ශානක පිළිබඳ මාධ්‍යවේදීන් ඊයේ (28) කළ ප්‍රශ්න කිරීමේදී.

සූරියවැව, මහපැලැස්ස ප්‍රදේශයේ ඉදි කෙරෙන ක්‍රීඩා පිටිය නිරීක්ෂණය සඳහා ගොස් සිටි අවස්ථාවේ මාධ්‍යවේදීන්ට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ, ඒ සම්බන්ධයෙන් අමාත්‍යාංශ ලේකම්වරයාගෙන් වාර්තාවක් කැඳවා ඇති බවත් එකි වාර්තාවෙන් පසු වැරදිකරු කවුදැයි නිවැරදිවම පැවසිය හැකි බවයි.

ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස තමාගේ ඉලක්කය තරග ජයග්‍රහණය බව සඳහන් කළ නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා අවධාරණය කර සිටියේ, ක්‍රිකට් පරිපාලකයින්, පුහුණුකරුවන් සහ ක්‍රීඩකයින්ගේ විනය පිළිබඳව තමා දැඩි අවධානයක් යොමු කරන බවයි.

තවද සංචිත මෙන්ම ක්‍රීඩකයින් තේරීමේදි කායික හා මානසික ශක්තිය යන කාරණයට ප්‍රමුඛතාවය දී ඇති බව ද ක්‍රීඩා අමාත්‍යවරයා එහිදී සඳහන් කළේ.

වීසා ගැටලුවක් මතු වීම හේතුවෙන් පන්දුවාර 20යි 20 කණ්ඩායමට නායකත්වය දීමට සිටි දසුන් ශානකට පසුගියදා බටහිර ඉන්දීය කොදෙව් දේශය බලා පිටත්ව යාමට නොහැකි වූ අතර කොදෙව් තරගාවලියේ පන්දුවාර 20යි 20 තරගාවලියේ නායකත්වය ඇන්ජලෝ මැතිව්ස්ට හිමි විය.