ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරියක ලෙස පෙනී සිටි කාන්තාවක් පොලිස් අත්අඩංගුවට (VIDEO)

February 22, 2021 at 11:29 PM

ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරියක ලෙස පෙනී සිටි කාන්තාවක් මහනුවර පොලීසිය විසින් අද අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම කාන්තාවා මහනුවර ජාතික රෝහලේ සේවය කරන වෛද්‍යවරියකට ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් නිකුත් කළ ලියාපදිංචි අංකය භාවිත කරමින් ප්‍රතිකාර මධ්‍යස්ථාන 3ක් පවත්වාගෙන ගොස් ඇති බවයි විමර්ශන වලදී හෙළිවී ඇත්තේ.

ඒ අනුව, එම කාන්තාව මීගමුව, මිනුවන්ගොඩ සහ නැදගමුව යන ප්‍රදේශවල ප්‍රතිකාර මධ්‍යස්ථාන පවත්වාගෙන ගොස් තිබෙනවා.

ඒ අනුව එම ව්‍යාජ වෛද්‍යවරිය විසින් භාවිත කළ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි අංකයේ සැබෑ හිමිකරු වන මහනුවර ජාතික රෝහලේ ප්‍රසව හා නාරිවේද ඒකකයේ සේවය කරනු ලබන වෛද්‍ය හිරෝෂනී කෞෂල්‍යා හෙට්ටිආරච්චි විසින් පසුගියදා මහනුවර පොලීසියට කළ පැමිණිල්ලකට අනුව මෙම විමර්ශන ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව වෛද්‍යවරියක ලෙස පෙනී සිටි එච්.කේ.අයි. හෙට්ටිආරච්චි නම් වූ කාන්තාවට අද දිනයේ මහනුවර පොලීසිය ඉදිරියේ පෙනී සිටින්නැයි කළ දැනුම් දීමකට අනුව ඇය පැමිණ තිබෙනවා.