මෙරට ප‍්‍රථම කාන්තා නි. පොලිස්පතිනියට නඩු පැවරීම ගැන කනගාටු වෙනවා

February 19, 2021 at 8:04 AM

කාන්තාවකට නියෝජ්‍ය පොලිස්පතිකම ලැබීම ගැන අපි ආඩම්බර විය යුතු යැයි මහජන ආරක්‍ෂාව පිළිබඳ ඇමැති සරත් වීරසේකර ඊයේ ප්‍රකාශ කර සිටියා.

මෙරට ප‍්‍රථම නියෝජ්‍ය පොලිස්පතිනිය ලෙස උසස්වීම් ලබා සිටින බිම්ශානි ජාසිංහ ආරච්චිට ලබාදී තිබෙන උසස්වීම අභියෝගයට ලක්කරමින් අධිකරණය හමුවේ පවරා ඇති නඩුව සම්බන්ධයෙන් එම අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියකු විසින් අසන ලද ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා එසේ ප්‍රකාශ කර සිටියා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

” මේ සිද්ධිය ගැන මම ඉතාමත් කනගාටු වෙනවා. පොලිසියක් ලෙස අපි ආඩම්බර වෙන්න ඕනෑ කාන්තාවකට මෙවැනි තනතුරු ලැබීම ගැන. මේ ගැන පුද්ගලිකව මම කනගාටු වෙනවා. මේ කාන්තාවට ජාත්‍යන්තර සම්මානයක් පවා ලැබී ගෞරවයට පාත‍්‍රවෙලත් තියෙනවා. මේ නඩුව සම්බන්ධයෙන් මම මුකුත් කියන්න දන්නෙ නැහැ” යැයි ප්‍රකාශ කර සිටියා.

මේ අතර පොලිස් සේවයේ තුළ පවතින ස්ත්‍රී පුරුෂභාවය මත පදනම් ව වෙනස් කොට සැලකීම තුරන් කිරීමට පියවර ගන්නා ලෙස ඉල්ලමින් සිවිල් සමාජ සංවිධානයක් විසින් අන්තර්ජාලය ඔස්සේ පෙත්සමක් ද අත්සන් කිරීම මේ වන විට ආරම්භ කර ඇත.