නවසීලන්ත අගමැති ආවත් හැරෙන්නේ නැහැ : කිරිපිටි ආනයනය වසර 04කින් සම්පුර්ණයෙන් නතර කරනවා

February 17, 2021 at 9:56 AM

දිනකට ඇමරිකානු ඩොලර් මිලියනයක කිරි පිටි ආනයනය කෙරෙන බවත් ඉදිරි වසර හතර ඇතුළත මෙරට කිරිවලින් ස්වයංපෝෂිත කිරීමෙන් අනතුරුව කිරි පිටි ආනයනය නතර කර දියර කිරි ප්‍රචලිත කිරීමට කටයුතු කරන බවත් කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ පවසනවා.

කෘෂිකර්ම අමාත්‍යාංශයේ ඊයේ (16) පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවක දී ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කර සිටියේ.

නවසීලන්තයේ දෙවැනි විශාලතම කිරි පිටි අපනයනකරු ශ්‍රී ලංකාවයි. කිරි පිටි ආනයනය නතර කළ සැනින් නවසීලන්ත අගමැතිවරයා මෙරටට පැමිණෙනු ඇතැයි ඇමැතිවරයා පැවසුවේ.

මිල්කෝ සමාගමේ දෛනික කිරි අවශ්‍යතාවය ලීටර් ලක්ෂ 06ක්. එහෙත් ආයතනයට දෛනිකව ලැබෙන්නේ කිරි ලීටර් ලක්ෂ දෙකක් පමණයි. මාකඳුරේ කිරි කර්මාන්තශාලාව නුදුරේ දී විවෘත වුවත් එහි නිෂ්පාදන කටයුතු සඳහා ප්‍රමාණවත් වන තරම් කිරි නැහැ.රටේ ගවයන් ලක්ෂ 12ක් සිටිනවා. මේ අතරින් කිරි ලබාගන්නේ ගවයන් ලක්ෂ දෙකහමාරකින් පමණයි. තවත් කිරි ගවයන් ලක්ෂ දෙක හමාරක් ගැබ් නොගැනීම නිසා කිරි ලබා ගැනීමට නොහැකි වී තිබෙනවා යැයිද ඇමැතිවරයා පැවසුවේ.

කිරි ගවයන්ට නියමිත වේලාවට ආහාර සහ ජලය ලබා දී එක් කිරි ගවයකුගෙන් ලබා ගන්නා කිරි ප්‍රමාණය ලීටර් දෙකකින් වැඩි කිරීමට බලාපොරොත්තුවේ. මෙරට කිරි ගන්නා ලක්ෂ දෙකහමාරක් වන ගවයන්ගෙන් එක් කිරි ගවයකුගෙන් දෛනිකව ලබා ගන්නේ කිරි ලීටර් තුනක් පමණි. ලෝකයේ වෙනත් රටවල කිරි ගවයකුගෙන් දිනකට කිරි ලීටර් 10ත් 30ත් අතර ප්‍රමාණයක් ගන්නා බව ඇමැතිවරයා පෙන්වා දෙයි.

මෙවර අයවැයෙන් සත්ව නිෂ්පාදන කටයුතු සඳහා රුපියල් බිලියන එකයි දශම පහක් වෙන් කර ඇති අතර මේ වසර දෙක ඇතුළත දී කිරි ගන්නා එළ ගවයන් ප්‍රමාණය ලක්ෂ පහ දක්වා වැඩි කිරීමටද නියමිතය. මහා පරිමාණ වතු සමාගම් සමග එකතු වී විශාල ගොවිපොළවල් තුනක් ඇති කිරීම සඳහා සාකච්ඡා කර ඇතැයිද ඇමැතිවරයා පෙන්වා දෙයි. එම සමාගම් විසින් සතුන් 4500ක් ආනයනය කිරීමට නියමිත බවත්, ඊට අවසරය ලබා දෙන බවද ඇමැතිවරයා මෙහි දී වැඩිදුරටත් සඳහන් කළේ.