තෙවරක් PCR එපා කියූ ප්‍රදේශයකින් කොවිඩ් ආසාදිතයින් 09ක් : එක් කාන්තාවක් ජිවිතක්ෂයට

February 17, 2021 at 9:17 AM

PCR පරීක්‍ෂණවලට විරුද්ධව තුන්වරක් ගම්පොළ මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ට බාධා කළ ගම්පොළ කහටපිටිය දේවරාජ මාවතේ පුද්ගලයින් අතුරින් 09 දෙනෙකු වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනා ගෙන ඇති අතර ඉන් එක් කාන්තාවක් ප්‍රතිකාර මධ්‍යස්ථානයකට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසනවා.

මෙලෙස මිය ගොස් ඇත්තේ කෝවිඞ් -19 වෛරසයට ගොදුරුව තෙල්දෙණිය ප‍්‍රතිකාර මධ්‍යස්ථානයේ දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කර සිටිය 51 හැවිරිදි කාන්තාවක් බවයි සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ. මෙය ගම්පොළ නගර සභා සීමාවේ සිදු වූ පළමු කොවිඞ් මරණයයි.

මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් මෙම ප‍්‍රදේශය තුළ PCR පරීක්‍ෂණ සිදු කිරීමට අවස්ථා 3 කදී උත්සාහ ගෙන ඇතත් ඒ සෑම වරකම එම ප‍්‍රදේශයේ ජනතාව විරෝධය දක්වා ඇත. කෙසේ හෝ කොටසකට සිදු කළ පරීක්‍ෂණවලදී ඉන් 8 දෙනෙකු ආසාදිතයන් බව තහවුරු වී ඇති අතර ඉන්පසු පෙරේදා (15) ඉතිරි පුද්ගලයින්වද PCR පරීක්ෂණ වලට ලක් කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගෙන ඇත.

(මුලාශ්‍ර : දිවයින වෙබ් අඩවිය)