අපිත් එකක් ඉන්න හාමුදුරුවෝ නමක් කැලෑ එළිකරනවා – ආරක්ෂක ලේකම් (VIDEO)

February 17, 2021 at 7:30 PM

වනාන්තර හෙළිකර ඇති ප්‍රදේශ හදුනා ගැනීම සදහා ඉදිරියේදි ගුවනින් මෙහෙයුමක් අරඹන බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න පවසනවා. ආරක්ෂක ලේකම්වරයා මෙම අදහස් පළ කළේ ආරක්ෂක අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවට එක් වෙමින්.

මෙම අක්‍රමිකතා සඳහා රජයේ නිලධාරින්ද සම්බන්ධ වන බවයි මෙහිදී ආරක්ෂක ලේකම්වරයා පැවසුවේ. ඇතැම් අවස්ථා වලදී කැලෑ කපන ස්ථාන වැටලීම් වලදී එම ගස් කපන ස්ථාන සඳහා අවසර ලබාදී ඇති බවට බලපත්‍ර පෙන්වන බවයි ආරක්ෂක ලේකම්වරයා පැවසුවේ. මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාව දැනුවත් කර ඇති බවටද සඳහන් කර සිටියා.

” කණගාටුවෙන් වුවත් කියන්න ඕන ඇතැම් ප්‍රාදේශීය ලේකම්වරුන් මෙවැනි බලපත්‍ර නිකුත් කර තිබෙනවා. ඇතැම් අය අයථා ලෙස බලය භාවිතා කර තිබෙනවා. ත්‍රිකුණාමලය ප්‍රදේශයේ අපිත් එක්කත් කිට්ටුවෙන් වැඩ කරන හාමුදුරුවෝ නමක් ඒ ප්‍රදේශයේ විශාල වශයෙන් කැලෑ එලි කරනවා. ඒ ගැන දිසාපතිතුමියට වගේම ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පතිතුමාට දැනුවත් කළා වහාම අවශ්‍ය පියවර ගන්න කියලා. කවුරුන් හෝ බලය අයථා ලෙස භාවිත කරනවානම් ආරක්ෂක අමාත්‍යාංශයට දැනුම් දෙන්න” ආරක්ෂක ලේකම්වරයා පැවසුවා.