අමාත්‍ය මණ්ඩලයේදී ගනු ලැබූ ප්‍රධාන තීරණ 03

February 16, 2021 at 11:05 AM

මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ හා කොළඹ ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ගොඩබෑමේ සහ ගුවන් යානා නැවත තැබීමේ ගාස්තුවලින් නිදහස් කිරීමේ කාල සීමාව 2021 ජූලි 19 වන දක්වා දීර්ඝ කිරීමට කැබිනට් අනුමැතිය හිමිවූ බව සම කැබිනට් ප්‍රකාශක උදය ගම්මන්පිල ප්‍රකාශ කර සිටිනවා.

මෙරට සංචාරක කේෂ්ත්‍රය නගා සිටුවීමේ අරමුණින් සංචාරක අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ එම යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවූ බවයි උදය ගම්මන්පිල ඇමතිවරයා ප්‍රකාශ කළේ.

මේ අතර පොදු ප්‍රවාහන භාවිතා කරන පුද්ගලයින් සඳහා මාර්ගස්ථ පෙර ගෙවුම් කාඩ්පතක් හඳුන්වාදීම සහ ගාස්තු අය කිරීමේ විද්‍යුත් පද්ධතියක් ක්‍රියාත්මක කිරීමට ද කැබිනට් අනුමැතිය හිමිව ඇත.

මුදල් මගින් ගෙවීම් කිරිමේදී කොන්දොස්තරවරුන් ඉතිරි මුදල් පියවීම නොකරන බවට ලැබෙන පැමිණිලි සහ වත්මන් වසංගත තත්ත්වය හේතුවෙන් මුදල් භාවිතයේ ඇතිවී තිබෙන ගැටළු සැලකිල්ලට ගනිමින් මෙම ක්‍රියා මාර්ගය ගැනීමට ප්‍රවාහන අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවට එලෙස කැබිනට් අනුමැතිය හිමිව ඇත. මෙම පෙරගෙවුම් කාඩ්පත සම්බන්ධයෙන් වන මෘදුකාංගය නිපදවා ඇත්තේ ශ්‍රී ලංකා මහ බැංකුව යටතේ පවතින ” ක්ලියර්” නම් සමාගම විසින් බවයි අමාත්‍ය උදය ගම්මන්පිල ප්‍රකාශ කර සිටියේ.

මිට අමතරව අත්අඩංගුවට ගනු ලබන සැකකරුවන්ට පොලිස් ස්ථාන තුලදී පහරදීම්, අඩම්තේට්‌ටම් කිරීම ආදීය ගැන විවිධ පැමිණිලි ලැබීම සහ ඇතැම් සැකකරුවන් පොලිස් ස්ථාන තුලදී මියයාමේ සිදුවීම් වාර්තා වීම හේතුවෙන් සිය බලප්‍රදේශවල පිහිටි පොලිස් ස්ථාන තුලට ගොස් එහි සෑම ස්ථානයක් පරික්ෂාවට ලක් කිරීමට මහේස්ත්‍රාත්තුමන්ලාට බලය පැවරීමට අධිකරණ අමාත්‍යවරයා විසින් ගෙනා යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.