කෝටි 40ක ගොඩනැගිල්ලක් වෙනුවෙන් තොරතුරු තාක්ෂණ ගුරුවරයෙකු පැහැරගෙන ගොස් ඝාතනය කරලා

February 15, 2021 at 10:39 AM

රුපියල් කෝටි හතළිහක් පමණ වටිනා මාතර නගරයේ ගොඩනැගිල්ලක් සම්බන්ධ ආරවුලකට තොරතුරු තාක්ෂණ ගුරුවරයකු ඝාතනය කර ඇති සැකකරුවන් හයදෙනෙකු ගැන තොරතුරු සීදුව පොලිසිය අනාවරණය කරගෙන තිබෙන බව “අරුණ පුවත්පත” වාර්තා කර සිටිනවා.

ඝාතනයට ලක්වන තොරතුරු තාක්ෂණ ගුරුවරයා නමින් සම්පත් හිරන්ත ප්‍රනාන්දුය. ඔහු විසිපස් හැවිරිදිය. බිරිඳ රමීෂා කාවින්දිට අයත් මාතර නගරයේ ​ගොඩනැගිල්ල බදුගත් පාර්ශ්වයක් සමග මාතර අධිකරණයේ නඩුවක්ද පවතී. මැදගම මල්ශාලා ගොඩනැගිල්ල නමින් එම ගොඩනැගිල්ල ප්‍රසිද්ධය.

එම නඩුවට සහභාගි වී නිවසට පැමිණි අවස්ථාවේ රමීෂා කාවින්දිගේ මව කපා කොටා ඝාතනය කරන්නේ නාඳුනන පිරිසක් විසින්ය. මීට වසර තුනකට පෙර එම ඝාතනය සිදුවන්නේ මොරටුව, රාවතාවත්තේ ඔවුන්ගේම නිවසේදීය.

එම ඝාතනය තවමත් අභිරහසක් නිසා විමර්ශන භාරකරන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටය.

නැන්දණියගේ මරණයෙන් පසුව මෙම මාතර ගොඩනැගිල්ලේ අයිතිය ඇත්තේ සම්පත් හිරන්තගේ බිරිඳටය. ඇයට මවගේ උරුමයෙන් ලද ගොඩනැගිල්ල සැමියාගේ මරණයෙන් අහවර වේ යැයි ඇයත් නොසිතන්නට ඇත.

එම ඝාතනය සැලසුම් කරන්නේ මාතර සිටය. සැලසුමට අනුව සම්පත් හිරන්තව ඔහු පදිංචි කුලියාපිටිය නිවසින් පිටතට ගන්නේ ෆේස් බුක් පෙම්වතියක යොදාගෙනය.

ව්‍යාජ ෆේස්බුක් ගිණුමක් සකස් කර මෙම තරුණිය හිරන්තගේ මිතුරියක බවට පත්කරන්නේ හිරන්තටත් නොදැනීය. ඇයට හිරන්ත පිටතට ගෙනැවිත් දීම වෙනුවෙන් රුපියල් ලක්ෂ පහක් ගෙවීමට සැලසුමේ මහ මොළකරු යෝජනා කර තිබේ.

සැලසුමේ මහ මොළකරු කෝටිපති ව්‍යාපාරිකයකුය. ඔහු හිරන්තගේ බිරිඳට අයත් ගොඩනැගිල්ලේ ව්‍යාපාර කටයුතු කාලයක් කරගෙන ආ අයෙකි. ගොඩනැගිල්ල බදුදීම සම්බන්ධව ඇති වූ ආරවුලකින් පසුව බදු කුලි නොගෙවීම නිසා නඩු මගට යන්නටද හිමිකරුවන්ට සිදුවිය.

අවසානයේ ගොඩනැගිල්ල හිමිකරුවන්ට මුදල් ගෙවන්නට රුපියල් කෝටි ගණනක් වටිනා ජීප් රථය පවා විකුණන්නට සිදුවිය. ව්‍යාපාර බිඳවැටීම නිසා අසරණ වූ තැන එහි පලිය හිරන්තගෙන් ගැනීමට යන්​නේ තමාට වූ පාඩුවට වාඩුව ගන්නටය.

මෙම නඩුවේ නීතිඥයා හා මාතර ගොඩනැගිල්ලේ යාබද ව්‍යාපාරිකයාත්, ඔහුගේ බිරිඳවත් ඝාතනය කිරීමද ඔවුන්ගේ සැලසුම විය.

කුලියාපිටිය, මග්ගොන නිවසට පැන හිරන්තව කපාකොටා ඝාතනය කිරීමට ව්‍යාපාරිකයා සැලසුම් කළද, එය ව්‍යර්ථ විය. හිරන්තගේ නැන්දණිය ඝාතනය වූ ආකාරයේ ඝාතනයකින් හිරන්ත බේරුණේ ඝාතකයාගේ සැලැස්ම ඉටු නොවූ නිසාය.

ඉන්පසු හිරන්තව නිවසින් පිටතට ගෙන දෙන මෙහෙයුම භාරගත් ෆේස්බුක් හිතවතිය හිරන්තව කටුනායකට ගෙන්වා ගන්නා ගැටයක් ගැසුවාය. සීදුව මුතුවාඩිය පාලම පසුකර පසු ඇය සිටින තැනක් හිරන්තට දැන්වූවාය.

මේ වන විටත් වීරකැටිය, මීගස්ආර, දිවුලපිටිය, හක්මන හා පානදුර අඟුලානේ තරුණයන් සිවුදෙනෙකු සමග කෝටිපති ව්‍යාපාරිකයා හිරන්ත ඩැහැගෙන යන මෙහෙයුමට පියස් වර්ගයේ මෝටර් රථයකින් පැමිණෙමින් සිටියේය.

දිනය පෙබරවාරි 8දාය. එදින උදෑසන 7.00ට පමණ හිරන්ත මග්ගොන සිට ලසන්ත ප්‍රේමලාල් නමැති අයගේ ටොයෝටා වෑන් රථයෙන් කුලී ගමනක් යාමට කියා එන්නේය. හිරන්තගේ කුලී ගමන් නිතර ගියේ ලසන්ත සමගය.

ලසන්තට කීවේ මිතුරෙකුගේ පියකු බැලීමට කටුනායක යමු කියාය. හිරන්ත අතරමගදී ගත් දුරකථන ඇමැතුම්වලින් යායුතු තැන අසා ගත්තේය. හිරන්තගේ ගමනාන්තය මුතුවාඩිය පාලම පසුකර මීටර් 500ක් ගිය තැන නතර විය. ඔහු වාහනය නතර කරන ලෙස ලසන්තට දන්වා බැසගොස් තරුණියක සමග කතාකරන්නට විය. සුළු මොහොතකින් පියස් වර්ගයේ රථයක් හරස් කර දෙදෙනකු බැස ගත්තේය. හිරන්ත හා එහි සිටි තරුණිය බලෙන් මෝටර් රථයට ඇද දමා ගත් ඔවුන් සීදුව දෙසට හඹායන්නේ සිතාගන්නටවත් ඉඩක් නොතබාය.

ලසන්ත වහාම සීදුව පොලිසියට පැමිණ මෙම පැහැරගැනීම ගැන පැමිණිල්ලක් ​යොමුකරන්නේ 10.15ට පමණ මෙය වූ බව කියමිනි.

වහාම ක්‍රියාත්මක වූ සීදුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කෝසල ලියනාරච්චි අපරාධ අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රියදර්ශනට විමර්ශන පැවැරීය.

එම විමර්ශනවලදී ප්‍රදේශයේ සී.සී.ටී.වී. කැමරා පරීක්ෂා කළද පැමිණිල්ලේ සඳහන් වේලාවට හෝඩුවාවක් සොයාගත නොහැකි විය. ජංගම දුරකථන දත්ත හා අනෙකුත් සාක්ෂි සැලකීමේදී මෙම පැහැර ගැනීම උදෑසන 9.20ට සිදුව ඇතැයි පොලිසිය අනාවරණය කරගත්තේය. ඒ වන විට සී.සී.ටී.වී. දර්ශන දහසක් පමණ පොලිසියේ පරීක්ෂාවට ලක්වූයේය.

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබදුන් තෙන්නකෝන්ගේ උපදෙස් මත විමර්ශන විවිධ පැති ඔස්සේ ක්‍රියාත්මක කරද්දී සිද්ධියට සම්බන්ධ තරුණිය ගැන අනාවරණය විය.

ඒ ඔස්සේ ගිය පොලිස් කණ්ඩායම තහවුරු කරගත්තේ පැහැරගැනීමට ලක් වූ හිරන්තව ඝාතනය කළේ මොටර් රථයේ යන ගමන් බවය. හිරන්ත පැහැරගත් පසු ඔහු සමග වාහනයට දමාගත් තරුණිය අතරමගදි බස්සන්නේය. ඒ ඇ​​ගේ කාර්යය අවසන් නිසාය. දෙවරක් නොහිතා වාහනය යන ගමන්ම එහි වූ ලණුවක් හිරන්තගේ ගෙලවටා ගැට ගසා වාහනය තුළදීම හිරකර අවසන් හුස්ම යනතුරු හිරකර තබා ඇත.

දේපළ තණ්හාවට ඉලක්කය අවසන් කළ ඝාතකයන් හිරන්තගේ සිරුර සවස 3.00 වෙද්දි කිලෝමීටර් 105ක් ගෙවා ගෙනවිත් නිකවැරටිය, කොටවෙහෙරේ කැලෑවක දමායන්නේය. එම සිරුර කොටවෙහෙර පොලිසියට හමුවන්නේ ඉකුත් 11දාය. එය තම සැමියාගේ බව නියපොතුවලින් හිරන්තගේ බිරිඳ හඳුනාගත්තාය.

සීදුව පොලිසියේ ස්ථානාධිපතිවරයා අපරාධ අංශයේ ස්ථානාධිපති කළ විමර්ශනයේදී ඝාතනයේ සුළමුල සොයාගෙන තිබේ.

ඊයේ (14දා) වන විට ඝාතකයන් කොටු කරන මෙහෙයුම ක්‍රියාත්මක විය.

(අරුණ පුවත්පත)