කැකුළු තරු උදානය ළමා රුක් රෝපණ ජාතික වැඩසටහන ජනපතිගේ ප්‍රධානත්වයෙන් ඇරඹේ (PHOTOS)

February 15, 2021 at 3:47 PM

“කැකුළු තුරු උදානය” ළමා රුක් රෝපණ ජාතික වැඩසටහන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (15) පෙරවරුවේ ගම්පොළ අටබාගේ විමලධර්ම ජාතික පාසල් භූමියේදී ආරම්භ කෙරුණා.

සෑම වසරකම පළමු වැනි ශ්‍රේණියට පිවිසෙන දරු දැරියන් සංඛ්‍යාව තුන් ලක්ෂ පනස්දහසකට ආසන්නය. ඔවුන් පරිසරයට ආදරය කරන පුරවැසියන් බවට පත්කිරීම සහ “සෞභාග්‍යයේ දැක්ම” හඳුන්වා දුන් තිරසර පරිසර ප්‍රතිපත්තියට අනුව අනාගත පරපුරට සුරක්ෂිත පරිසර පද්ධතියක් දායාද කිරීම වැඩසටහනේ අරමුණයි.

ජනාධිපතිතුමා සහ මැති ඇමතිවරු දරුවන් සමග එක්ව පැළ රෝපණය කරමින් “කැකුළු තුරු උදානය” වැඩසටහන ආරම්භ කරනු ලැබුවා.

පොත පතට යොමුව විභාග මානසිකත්වයක පසුවන සිසුන් වගාවට උනන්දු කරවීමෙන් යහපත් මානසිකත්වයක් ඇති කිරීම මේ සංකල්පයේ අපේක්ෂාවකැයි රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ ප්‍රකාශ කර සිටියේ.

කෘෂිකර්ම සහ අධ්‍යාපන අමාත්‍යාංශ එක්ව වැඩසටහන ක්‍රියාවට නංවයි. අද ඇරඹුණු “කැකුළු තුරු උදානය” වාර්ෂිකව ඉදිරියට යයි. වසර 05ක් ගත වන විට කොස්, දෙල්, පොල්, අඹ ඇතුළු පැල ලක්ෂ 17ක් දරුවන්ගේ අධීක්ෂණයෙන් පරිසරයට එක් කිරීම රජයේ ඉලක්කයයි. නාගරික දරු දැරියන්ට තම ප්‍රදේශවලට ගැලපෙන කුඩා ප්‍රමාණයේ ශාඛ සහ ගෙවතු රහිත නිවාසවල පදිංචි දරුවන්ට බඳුන්ගත පැළයක් සපයනු ලැබේ.

පැළ බෙදාදීම කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශය මගින් කෙරෙන අතර, ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ කෘෂිකර්ම පර්යේෂණ නිලධාරීන් මගින් වාර්ෂිකව දරුවා සහ පැලය පිළිබඳ වාර්තාවක් සැකසීමට ද සැලසුම් කර ඇත. සංකේතාත්මකව දරුවන් අතර පැළ බෙදා දීම ජනාධිපතිතුමා විසින් සිදු කරනු ලැබුවා.

2021 වසරේ පළමු ශ්‍රේණියට දරුවන් ඇතුළත් කිරීම සංකේතවත් කරමින් ජනාධිපතිතුමා අටබාගේ විමලධර්ම විද්‍යාලයට ඇතුළත්වන දරුවෙකුගේ නම ලියාපදිංචි කොට පාසල් ලොග් සටහන් පොතෙහි සටහනක් තැබීය.

මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව කොවිඩ් අරමුදල උදෙසා රැස් කළ රුපියල් ලක්ෂ 63ක මුදලට අදාළ චෙක්පත ආණ්ඩුකාර ලලිත් යූ. ගමගේ මහතා ජනාධිපතිතුමා වෙත භාර දුන්නා.

කොවිඩ් අරමුදලට සිය මාසික වැටුප පරිත්‍යාග කළ ගුරුවරුන් තිදෙනෙකුට ජනාධිපතිවරයා විසින් මෙහිදී ප්‍රශංසා සහතික පත් ප්‍රදානය කරනු ලැබුවා.