සාමාන්‍ය ජනතාවට කොවිඩ් එන්නත ලබාදීම මාර්තු මාසයේ සිට

February 15, 2021 at 10:06 AM

මාර්තු මාසයේ පළමු සතිය වන විට මෙරට සාමාන්‍ය ජනතාවට එන්නත් ලබාදීමට අවශ්‍ය කටයුතු සිදුකරනු ලබන බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටිනවා.

මෙරටට ඉන්දියාවෙන් ප්‍රදානයක් වශයෙන් ලැබුණු කොවිඩ් වෛරසයට එරෙහි කොවිෂිල්ඩ් එන්නතේ මාත්‍රා ලක්ෂ දෙකහාමාරක් ඉදිරියේදී සාමාන්‍ය ජනතාවට ලබාදීම සඳහා කටයුතු කිරීමට ඇති හැකියාව සම්බන්ධයෙන් සොයා බලන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කළ දැනුම් දීමක් මත ඒ ගැන මේ වන විට විශේෂඥයින් සමග සාකච්ජා කරමින් සිටින බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේ.

ඉන්දියාවෙන් ලද කොවිෂිල්ඩ් එන්නත් ලක්ෂ 05 කින් ලක්ෂ දෙකහාමාරක් ඉදිරි කොවිඩ් මර්ධන ක්‍රියාවලියේ ඉදිරිපෙල සිටින සෞඛ්‍ය, ත්‍රිවිධ හමුදාව ඇතුළු කේෂ්ත්‍ර වෙත ලබාදීමට කටයුතු කළ බවත් ඔවුන්ට ලබාදීමට නියමිත සෙසු එන්නත් මාත්‍රාව සති 4-6ත් අතර නොව සති 12කින් පසුව ලබාදිය යුතු බවත් එමගින් වෛරසයට එරෙහි යහපත් ප්‍රථිපලයක් ලබාගත හැකි බවට විශේෂඥ මතය වී ඇති බවයි යුද හමුදාපතිවරයා සඳහන් කලේ.

මේ හේතුවෙන් දැනට ඉන්දියාවෙන් ලද කොවිෂිල්ඩ් එන්නතේ ලක්ෂ දෙකහාමාරක් පළමු පෙළ කොරෝනා මර්ධන ක්‍රියාවලියේ යෙදී සිටින පුද්ගලයින්ට ලබාදීමෙන් අනතුරුව පසුව ඉතිරි එන්නත් ලක්ෂ දෙකහාමාර මෙරට සාමාන්‍ය ජනතාවට ලබාදීමට ඇති හැකියාව සොයා බලමින් සිටින බවයි යුද හමුදාපතිවරයා සඳහන් කරේ.

එන්නත ලබාදීමට සුදුසු වයස් කාණ්ඩය සහ ඒ සම්බන්ධ කරුණු සාකච්ජා කොට අවසන් තීරණයක් ගන්නා බවයි යුද හමුදාපතිවරයා සඳහන් කලේ.

මේ අතර මෙරට සාමාන්‍ය ජනතාව මිලියන 09කට එන්නත් ලබාදීම සඳහා රජය විසින් මේ වන විටත් කොවිඩ් එන්නත් මාත්‍රා මිලියන 18ක් ඇණවුම් කර ඇති බවද යුද හමුදාපතිවරයා කියා සිටියා. ඒ අනුව පළමු එන්නත් මාත්‍රා ලක්ෂ 05ක් ඉදිරි සතියේදී මෙරටට ලැබීමට නියමිත බවද යුද හමුදාපතිවරයා සඳහන් කළේ.