ඉදිරි මාස කිහිපය රටට අපහසු කාලයක් : රාජ්‍ය අමාත්‍යවරයෙකු පවසයි

February 14, 2021 at 3:46 PM

එළඹෙන මාස කිහිපය අපහසු කාලයක් බව මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසනවා. ඒ අනුව ඔහු පෙන්වා දෙන්නේ රටේ ජනතාවට රැකියාවන් සඳහා අවස්ථාවන් නිර්මාණය කරදීමේ අවශ්‍යතාවය පැනනැගී ඇති බවයි.

කොළඹ ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මෙසේ ප්‍රකාශ කර සිටියා,

“අපිට ඊළඟ මාස කිහිපය අමාරු කාලයක්. තාමත් අපේ රට විවෘත වෙලා නෑ. ඉතින් ඊළඟ කාලය තුළදී අපි රැකියා නැවත බිහිකරනවා. ඒකට, රටේ ජනතාවට අවස්ථාවන් ඇති කළ යුතුයි. හැම අවුරුද්දෙම රැකියා වෙළෙඳපොළට හාරලක්ෂයක් එළියට එනවා. ඒ අයට රැකියා ඇතිකරන්න ඕනේ.” යනුවෙන්.

මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුව පැවසුවේ සමස්තයක් ලෙස ගත් කළ 2019 වසර සමඟ සැසඳීමේ දී මෙරට වෙළඳ හිඟය 2020 වසරේ දී අමෙරිකානු ඩොලර් බිලියන 2.0කින් සැලකිය යුතු ලෙස අඩු වී ඇති බවයි.

විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ ද 2020 වසරේ දෙසැම්බර් මාසයේදී ඉතිහාසයේ ඉහලම මාසික ලැබීම වාර්තා කර තිබූ බවද මහ බැංකුව පැවසුවා. ඒ අනුව 2020 වසරේ දෙසැම්බර් මාසයේ විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ පෙර වසරේ එම මාසයට සාපේක්ෂව අමෙරිකානු ඩොලර් මිලියන 813ක් දක්වා ඉහල ගොස් තිබෙනවා.