නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේදී ශ්‍රී ලංකාවේ නම වෙනස් කළ යුතුයි : පිවිතුරු හෙළ උරුමය

February 13, 2021 at 4:52 PM

යම් රාජ්‍යයක් ප්‍රජාතන්ත්‍රවාදී හෝ සමාජවාදී විය යුත්තේ එකී රාජ්‍යයේ ගුණාත්මක ලක්ෂණ වලින් මිස නාමයෙන් නොවන බවත් එබැවින් රාජ්‍යයේ නම ” ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය” වෙනුවට “ශ්‍රී ලංකා ජනරජය” ලෙස හැඳින්විය යුතු බව පිවිතුරු හෙළ උරුමය ප්‍රකාශ කර සිටිනවා.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සඳහා වන සිය යෝජනා ඉදිරිපත් කරමින් පිවිතුරු හෙළ උරුමය මේ බව සඳහන් කර සිටිනවා.

විධායක ජනාධිපති වරයාගේ බලතල සම්බන්ධයෙන් වන සිය යෝජනා ඉදිරිපත් කරමින් පිවිතුරු හෙළ උරුමය පක්ෂය සඳහන් කරන්නේ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වගකිව යුතු අතර ජනාධිපතිවරයාගේ තීරණ අධිකරණය ඉදිරියේ අභියෝගයට ලක් කිරීමට හැකි විය යුතු බවයි.

එමෙන්ම ජනාධිපතිවරණය අහෝසි කර පාර්ලිමේන්තු මැතිවරණ ප්‍රථිපල පදනම් කරගෙන ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම සුදුසු බවත් ඉන් ජනාධිපතිවරණයට වැයවන දැවැන්ත මහජන මුදල් ද ඉතිරිවන බව පිවිතුරු හෙළ උරුමය පෙන්වා දේ.

පිවිතුරු හෙළ උරුමය විසින් ඉදිරිපත් කළ නව ව්‍යවස්ථාව සඳහා වන යෝජනා මාලාව පහතින් දැක්වේ.