ඉදිරියේදී කොවිඩ් ආසාදිතයින් ඉහළ යා හැකියි – GMOA : ගෘහස්ථ උත්සව සඳහා මින් ඉදිරියට අවසර නැහැ – මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කියයි

February 13, 2021 at 8:27 PM

ඉහළ සම්ප්‍රේෂණ අවධානමක් ඇති බ්‍රිතාන්‍යයේ ව්‍යාප්තවන කොවිඩ් නව ප්‍රභේදය ආසාදිතයින් ගෙන් හඳුනා ගැනීම නිසා ඉදිරියේදී මෙරටින් දෛනිකව හඳුනාගන්නා කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව ඉහළ යා හැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනතුරු අඟවා සිටිනවා.

බ්‍රිතාන්‍යයේ ව්‍යාප්ත වෙමින් පවතින නව කොවිඩ් ප්‍රභේදය මෙරට ප්‍රදේශ කිහිපයකින් හමුවූ බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පිඨය විසින් සිදුකළ ජානමය පර්යේෂණයකින් තහවුරු වීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මේ බව ප්‍රකාශ කර සිටියා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් එහි සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මෙසේ සඳහන් කර සිටියා.

” ජයවර්ධනපුර රසායනාගාරය විසින්ම තහවුරු කරනවා සියයට 50කට වඩා වැඩි ප්‍රතිශතයකින් ව්‍යාප්තිය වැඩිවෙන්න පුළුවන් කියන එක. ඒ කියන්නේ රෝගීන් 800 ඉදිරියේදී 1200 දක්වා ගමන් කළ හැකියි කියන පණිවුඩය තමයි මේ දෙන්නේ. මේ කියපු ප්‍රදේශ 4 තුළ විතරද මේ නව වෛරස් ප්‍රභේදය තියෙන්නේ. ඒකට උත්තරය අපි තාම දන්නේ නෑ. ඒ නිසා එක රසායනාගාරයක් මත යැපෙන්නේ නැතුව මේ සඳහා අවශ්‍ය පහසුකම් ස්ථාපිත කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයට වගකීමක් තියෙනවා.”

මේ අතර නව කොවිඩ් ප්‍රභේදය වාර්තා වීමත් සමග පෙරට වඩා සෞඛ්‍ය නීති අනුගමනය කිරීමට ජනතාව පුරුදුවිය යුතු බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ ප්‍රකාශ කර සිටිනවා.

ඔහු සඳහන් කලේ මින් ඉදිරියට ගෘහස්ථ උත්සව සඳහා අවසර පතමින් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවලට ඒමෙන් වලකින ලෙස තමන් ජනතාවට දැනුම් දෙන බවයි. දැනට ලංකාවේ පැවැත්විය හැක්කේ සීමාවන්ට යටත්ව අවමංගල්‍ය උත්සව සහ මංගල උත්සව පමණක් බව පැවසූ සභාපතිවරයා අද දිනයේ සිට සෞඛ්‍ය නීති කඩකරන පුද්ගලයින්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව කියා සිටියා.