ප්‍රසන්න- විමල් මුහුණට මුහුණ හමුවෙයි (PHOTO)

February 12, 2021 at 12:45 PM

කර්මාන්ත ඇමති විමල් වීරවංශ විසින් පසුගිය සතිඅන්ත පුවත් පතකට කල ප්‍රකාශයක් හේතුවෙන් මේ වනවිට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආණ්ඩුව තුල උණුසුම් කථාබහක් නිර්මාණය වී තිබේ.

පසුගියදා පැවැති පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග විසින් විමල් වීරවංශ අමාත්‍යවරයා ගේ ප්‍රකාශය දැඩි ලෙස විවේචනය කල බවට තොරතුරු වාර්තා විය. එවැනි පසුබිමක් යටතේ අද මෙම ඇමතිවරුන් දෙදෙනා කොළඹදී මුහුණට මුහුණ මුණ ගැසුණා.

ඒ කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්රොණ ශාලාවේ දී පැවැති ප්‍රදර්ශන දෙකක සමාරම්භක අවස්ථාවකදීය.

Be Sri Lanka Buy Sri Lanka ප්‍රදර්ශනය විවෘත කිරීමට ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වූයේ සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග වන අතර Lanka Pack සමුළුව හා ප්‍රදර්ශනයේ ප්‍රධාන ආරාධිතයා වූයේ විමල් වීරවංශ ඇමතිවරයායි.

උදෑසන 10.00 ට පමණ පළමුව ප්‍රසන්න රණතුංග ඇමතිවරයා එම ස්ථානයට පැමිණි අතර ඇමති විමල් වීරවංශ පැමිණෙන තුරු මිනිත්තු කිහිපයක් සංචාරක අමාත්‍යවරයා රැදී සිටිනු දක්නට ලැබිණි.

විමල් වීරවංශ අමාත්‍යවරයා පැමිණීමෙන් පසු දෙදෙනාම එක්ව ප්‍රදර්ශනය විවෘත කල අතර එය සුවිශේෂි අවස්ථාවක් බවට පත්වූයේ දේශපාලන පොරපිටියේ මේ වනවිට මතුව ඇති උණුසුම් කථාබහ හේතුවෙනි.