වාහන ආනයන සම්බන්ධයෙන් මහ බැංකු අධිපති කරුණු දක්වයි

February 12, 2021 at 4:12 PM

මෝටර් රථ ඇතුළු අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ මත පනවා තිබෙන ආනයන සීමා තවදුරටත් ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති දේශමාන්‍ය මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් ප්‍රකාශ කර සිටිනවා.

ආනයන සීමා කිරීම ඉතා වැදගත් සහ සැළකිය යුතු තීන්දුවක් බවත් ඒ තුළින් කෙටිකාලීනව යම් යම් දුෂ්කරතාවලට මුහුණ දීමට සිදු වුවත් දීර්ඝකාලීනව ඉතා වැදගත් ප්‍රතිපත්තියක් බවයි මහා බැංකු අධිපතිවරයා ප්‍රකාශ කර සිටින්නේ.

මෑත කාලීන ආර්ථික ප්‍රතිපත්ති සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකු පරිශ්‍රයේ අද පැවැති මාධ්‍ය හමුවේදී අධිපතිවරයා එම කරුණු සඳහන් කර සිටියා.

මෝටර් රථ ඇතුළු අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයන සීමා ඉවත් කිරීමට තරම් ගෙවුම් ශේෂය තවමත් හැඩ ගැසී නැති බවත් එබැවින් එම සීමා තවදුරටත් ක්‍රියාත්මක කළ යුතු බව මහා බැංකු අධිපතිවරයා සඳහන් කළා.

ඉන්දියාව, චීනය සහ ජපානය යන රටවලින් මෙවැනි ප්‍රතිපත්තිවලට උදාහරණ ගත හැකි බවත් ආනයන සීමා කිරීමෙන් රටේ අවශ්‍යතා රට තුළම නිෂ්පාදනය කරගැනීමට අවශ්‍ය පරිසරය හැඩගැසෙන බවයි මෙම මාධ්‍ය හමුවේදී මහ බැංකු අධිපතිවරයා සඳහන් කර සිටියේ.