අන්තර්ජාලය හරහා සිදුවන වංචාවක් ගැන අවධානයෙන් සිටින්න – ආදරවන්තයින්ට පොලිසියෙන් දැනුම් දීමක්

February 11, 2021 at 11:27 AM

පෙබරවාරි මස 14 වෙනිදාට යෙදෙන ‘ආදරවන්තයින් ගේ දිනය’ ඉලක්ක කර ගනිමින් විවිධ පුද්ගලයින් සහ සංවිධාන විසින් මුල්‍ය වංචා සිදුකිරීමේ හැකියාවක් තිබෙන බැවින් එවැනි කරුණු සම්බන්ධයෙන් අවධානයෙන් සිටින ලෙස මෙරට තරුණ පරපුරෙන් ඉල්ලා සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කර සිටිනවා.

ආදරවන්තයින් ගේ දිනය නිමිතත්තෙන් පවත්වනු ලබන සාද සඳහා සහභාගිවන ලෙසට අන්තර්ජාලය ඔස්සේ ගෙවීම් සිදුකරන ලෙසට දන්වමින් සහ විවිධ සාද සංවිධානය කර ඇති බවට දන්වමින් ක්‍රෙඩිට් කාඩ් හරහා මුදල් අයකර ගැනීම් හරහා මෙම වංචාව සිදුකිරීමට ඇතැම් පුද්ගලයින් පෙළඹී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියේ.

මිට අමතරව තමන්ගේ ආදරවන්තයා හෝ ආදරවන්තිය විසින් ත්‍යාගයක් ඒවා ඇති බව පවසමින් එය ගෙනවිත් භාරදීමට සඳහා මුදල් තැන්පත් කරන ලෙසට දන්වමින් තවත් පිරිසක් මුල්‍ය වංචාවන් සිදුකරන බවට තොරතුරු ලැබී ඇති බවත් මෙවැනි කරුණු වලට නොරැවටෙන ලෙස දැනුම් දෙන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියේ.

පවතින සෞඛ්‍ය තත්ත්වය ගැන සැලකිල්ලට ගනිමින් ආදරවන්තයින්ගේ දිනය වෙනුවෙන් උත්සව සංවිධාන කිරීමට අවසර නොදෙන බව පැවසූ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ඒ සම්බන්ධයෙන් දිවයිනේ සියලු පොලිස් ස්ථාන දැනුවත් කර ඇති බවද ප්‍රකාශ කර සිටියා.