රංගජීව ඇතුළු පිරිසට වෙඩි තැබූ නවාස් ඉන්දියාවේදී අත්අඩංගුවට : ඉන්ටර්පෝල් නිල වශයෙන් දැනුම් දෙයි

February 11, 2021 at 8:47 AM

2017 වසරේ පිළියන්දල දී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් පිරිසකට වෙඩි ප්‍රහාරයක් එල්ලකිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකු වන මොහොමඩ් නවාස් නැමැත්තා ඉන්දීයාවේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේ මොහොමඩ් මාහීර් මොහොමඩ් නවාස් නැමැත්තා මත්‍ද්‍රව්‍ය වරදක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බව ඉන්දියාවේ ජාත්‍යන්තර පොලීස් ශාඛාව විසින් මේ බව නිල වශයෙන් දැනුම් දුන් බවයි.

ඒ අනුව සැකකරු මේ වන විට තමිල්නාඩුවේ, මදුරෙයි ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ භාරයේ රඳවා තබා ගෙන සිටී.

2017 මැයි 9 වන දින පොලිස් නාශක කාර්යාංශයේ පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් පිළියන්දල ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය වැටලීමක දී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් වෙඩි තැබීමක් සිදුකර තිබුණා.

එම වෙඩි තැබීමෙන් පොලිස් කොස්තාපල්වරයෙක් තුවාල ලබා පොලිස් පරීක්ෂක රංගජීව ඇතුළු තවත් නිලධාරියෙක් තුවාල ලැබුවා.

එමෙන්ම එම සිද්ධියෙන් දරුවන් තිදෙදෙනකු තුවාල ලැබු අතර පසුව රෝහල්ගත කර සිටිය දී 11 හැවිරිදි දැරියක් ජීවිතක්ෂයට පත්විය.

එම සිදුවීමේ දී පොලිස් ඔත්තුකරුවෙකු ලෙස පෙනී සිටිමින් එම අපරාධය සිදුකළ පුද්ගලයෙකු ලෙස මොහොමඩ් මාහීර් මොහොමඩ් නවාස් නැමැත්තා හඳුනාගනු ලැබීය.

එම අපරාධය සිදුකිරීමෙන් අනතුරුව නවාස් නැමැත්තා ඉන්දියාවට පළාගොස් තිබු අතර, අපරාධකරුවන්ට තොරතුරු ලබාදීම යන චෝදනා ඔහුට එල්ල වී තිබු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය. මොහොමඩ් මාහීර් මොහොමඩ් නවාස් නැමැත්තා පොරුතොට හා වැල්ලම්පිටිය යන ප්‍රදේශවල පදිංචිකරුවෙකු ලෙස වාර්තා වී තිබේ.

ඉදිරියේ දී සැකකරු මෙරටට ගෙන්වා ගැනීම සඳහා උදර්පණ නීතිය යටතේ කටයුතු සුදානම් කරන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.