PCR පරීක්ෂණ කලොත් සිරුරට ගිනි තබා ගන්නා බවට තර්ජණය කරයි : ගැටලුව විසදීමට පොලිසිය මැදිහත් වෙයි

February 10, 2021 at 8:19 AM

මුන්දලම පොලිස් වසමට අයත් උඩප්පුව ප‍්‍රදේශයේ නිවාස තුනක පදිංචි පිරිසක් ජෛව පටල පරීක්ෂාවකට රැගෙන යෑමට කටයුතු කරන අවස්ථාවේ එහි පැමිණි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට බැණ වැදී සිරුරට ගිනි තබා ගන්නා බවට තර්ජනය කිරීමෙන් පසු උඩප්පුව පොලිසිය මැදිහත් වී එම පිරිස පසුගිය 08 වැනිදා පරීක්ෂණවලට යොමු කළ බව මුන්දලම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ඒ. ආර්. ජවුසි ප්‍රකාශ කර සිටිනවා.

මෙසේ ජෛව පටල පරීක්ෂාවකට යොමු කිරීම සඳහා කටයුතු කර තිබුණේ උඩප්පුව පොලිස් වසමේ කොරෝනා ආසාදිතයින් වාර්තා වී ඇති නිවාස තුනක පදිංචිකරුවන්ය.

අදාළ ආසාදිතයින්ගේ පළමු ආශ‍්‍රිතයින් වන මෙම පවුල් තුනක පිරිස සඳහා මුන්දලම පුලිච්චිකුලම මාතෘ සායන මධ්‍යස්ථානයේ දී ජෛව පටල ලබා ගැනීමට කටයුතු කර තිබු අතර ඒ අනුව අදාළ පිරිසට ඉකුත් සඳුදා දින ජෛව පටල පරීක්ෂාව සඳහා පැමිණෙන ලෙස දන්වා තිබූණා.

කෙසේ වුවත් ඒ සඳහා ඔවුන් නොපැමිණීම නිසා ඒ පිළිබඳව සොයා බැලීමට ගිය අදාළ ප‍්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂක ඒ. එච්. එම්. ජනක හට මෙසේ තර්ජනය කර ඇති බව සඳහන්. එම ආශ‍්‍රිතයින් අතර සිටි පුද්ගලයකු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා ඉදිරියට කඩා වැදී තමන් හෝ තම පිරිස පීසීආර් පරීක්ෂණ සඳහා රැුගෙන ගියහොත් සිරුරට පෙට‍්‍රල් දමාගෙන ගිනි තබා ගන්නා බව පවසා තර්ජනය කර ඇත.

පසුව සිද්ධියට මුහුණ දුන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා මුන්දලම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ඒ. ආර්. ජවුසිට තත්ත්වය දැනුම් දීමෙන් පසුව උඩප්පුව පොලිසිය මැදිහත් වී ආදාළ පිරිස ජෛව පටල සාම්පල ලබා ගැනීම සඳහා යොමු කිරීමට කටයුතු කර තිබෙනවා.

( මුලාශ්‍ර : දිවයින පුවත්පත)