පොහොට්ටුවේ වත්මන් ලේකම්වරයා ඇතුළු බොහෝ දෙනා පාර්ලිමේන්තුවේ ඉන්නේ විමල් ඇතුළු පිරිස නිසයි : මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසයි (VIDEO)

February 10, 2021 at 4:53 PM

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වත්මන් ලේකම්වරයා ඇතුළු මන්ත්‍රිවරුන් අද පාර්ලිමේන්තුව නියෝජනය කරනු ලබන්නේ විමල් වීරවංශ අමාත්‍යවරයා ඇතුළු ජාතික බලවේග සිදුකළ කැපකිරීම් හේතුවෙන් බව පුජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසනවා.

අද පෙරවරුවේ නාරාහේන්පිට අභයාරාමයේ පැවති මාධ්‍ය හමුවකදී උන්වහන්සේ මේ බව සඳහන් කර සිටියා.

“පොහොට්ටුවේ වැඩට අත දාන්න විමල්ට අයිතියක් නැහැ, පොහොට්ටුවේ මහලේකම් සාගර කාරියවසම් පිං මන්ත්‍රීවරයා කියයි. පොදු සංවිධානයක ගොඩනගන්න ඕනේ කියන යෝජනාව ඇතිවුණේ අභයාරාමයෙන්. ළමයා ඉපදුනායින් පස්සේ, නමක් දැම්මේ. මං හිතනවා විමල් වීරවංශ ඇතුළු 4 ක් 5ක් එකතුවෙලා පළවෙනියෙන්ම සාකච්ඡාවක් තිබ්බා නුගේගොඩ “මහින්ද සුළඟ“ කියලා.

මහින්ද සුළඟ ආරම්භ කරලා මේ රටේ නව පුනර්ජීවනයක් ඇති කරලා අලුත් ආණ්ඩුවක් පත්කර ගන්න ශක්තිය ලබාදීලා ජනතාව දැනුවත් කරපු කෙනෙකුට පොහොට්ටුවේ ලේකම්තුමා කියනවා “අත දාන්න විමල් වීරවංශට අයිතියක් නෑ කියලා“ මම එතුමාගෙන් අහන්න කැමති කවුද මේකට අතදාන්න කැමති එක්කෙනා කියලා. අද ඔබට මෙහෙම පාර්ලිමේන්තු ගිහින් කතා කරන්න ශක්තියක් ලබා දුන්නේ මහින්ද සුළඟත්, පැවිදි හඬත් කියන එක අමතක කරන්න එපා. විමල් වීරවංශ වැනි අයට මෙවැනි සදාචාරාත්මක නොවන ප්‍රකාශ නිකුත් කරනවා නම් අපිට සිද්ධවෙනවා ඒවට විරුද්ධ වෙන්න. හදපු ආණ්ඩුව වැරදි මග යනවානම්, එහෙම නැත්නම් තමන්ට ලැබෙන වරප්‍රසාද ලැබෙන එක අහිමිවෙනවානම් ඒක ඉදිරියට දාලා කටයුතු කරන්න එපා. අපි විමල් විරවංශ ඇමතිතුමාට කියනවා එක අතක් නෙමේ අත් දෙකම දාලා මේ ජනතාවට විදින්න වෙලා තියෙන වේදනාවලින් ගලවා ගන්න කටයුතු කරන්න කියලා “ පුජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් ප්‍රකාශ කර සිටියා.