ණය සහ ලිසිං වාරික නියමිත කාලයට පෙර ගෙවා අවසන් කිරීමේදී අධි භාරයක් අය කිරීම නතර කරන්න හැකිදැයි සොයා බලන්න – අගමැති උපදෙස් දෙයි

February 10, 2021 at 5:39 PM

නියමිත කාලයට පෙර ණය වාරික සහ රථ වාහන ලීසිං වාරික සියල්ල එකවර ගෙවා අවසන් කිරීමේදී අධිභාරයක් අය කිරීම නතර කිරීමට ඇති හැකියාව සොයා බලන්නැයි අග්‍රාමාත්‍යවරයා විසින් මහබැංකුවට උපදෙස් ලබාදී තිබෙනවා.

නියමිත දිනයට පෙර වාරික ගෙවා අවසන් කිරීමේදී මූල්‍ය ආයතන විසින් අදාළ ගනුදෙනුකරු ඒ වන විට ගෙවීමට ඇති මුදලින් සියයට 3ක පමණ වන අධිභාරයක් අය කරනු ලබනවා. පසුගියදා මුදල් අමාත්‍යංශයේ පැවති ප්‍රගති සමාලෝචන රැස්වීමේදී මේ පිළිබඳ අවධානය යොමුවූ බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළේ.

එහිදී අනාවරණ වූයේ ඇතැම් මූල්‍ය ආයතන ගනුදෙනුකරුවාගේ ඉල්ලීම මත පමණක් මෙම මුදල අය කිරීමෙන් තොරව අදාළ ගිවිසුම අවසන් කරන බවයි.

මූල්‍ය ආයතනවල අභිමතය පරිදි පමණක් සිදුකරන මෙම අය කිරීම අහෝසි තිරීමට අදාළ පොදු ප්‍රතිපත්තියක් සකස් කළ යුතු බව අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශකර තිබෙනවා.

සෑම මූල්‍ය ආයතනයක්ම කටයුතු කරනු ලබන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධීක්ෂණය යටතේ වන බැවින් එම මුදල අය කිරීම අත්හිටුවීමේ හැකියාව සොයා බලන ලෙසට එම නිලධාරීන්ට ඔහු උපදෙස් ලබාදී ඇත්තේ.

මෙම සාකච්ඡාවට එක්වූ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මෙහිදී කියාසිටියේ අදාළ අය කිරීම කිසිදු ආකාරයකින් සාධාරණ නොවන බවත් එම අය කිරීම සම්පූර්ණයෙන්ම අහෝසි කළ යුතු බව අවධාරණය කර සිටියා.