හම්බන්තොට පවුල් දසදහසකට වැසිකිලි පහසුකම් නැහැ – අරුණ පුවත්පත වාර්තා කරයි

February 9, 2021 at 8:42 AM

හම්බන්තොට දිස්ත්‍රික්කයේ පවුල් දස දහසකට අධික සංඛ්‍යාවකට වැසිකිළි පහසුකම් නැති බව මීට පෙර පාර්ලිමේන්තුවේදී සාකච්ඡාවට ලක්වූවද, මෙතෙක් ඊට පිළියම් යොදා නොමැති බව අනාවරණය වන බව ” අරුණ” පුවත්පත වාර්තා කර සිටිනවා.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර පසුගිය රජය කාලයේදීද මේ පිළිබඳව පාර්ලිමේන්තුවේ අවධානයට යොමු කර තිබුණා. කෙසේ නමුත් හම්බන්තොට දිස්ත්‍රික්කයේ තවමත් වැසිකිළි පහසුකම් නොමැති පවුල් 10,000 ක් සිටින බව පරිසර ඇමැති මහින්ද අමරවීර පවසන්නේ.

මෙලෙස ජනතාවට වැසිකිළි පහසුකම් නොමැතිවීමට ප්‍රධාන හේතුව ඔවුන් අත මුදල් නොමැතිවීම බවද ඇමැතිවරයා කියා සිටියි. නිවස අසලටම නළ ජලය හා විදුලිය පහසුකම් ලැබී තිබුණත් එම ප්‍රතිලාභ ලබා ගැනීමට නොහැකි විශාල පවුල් ප්‍රමාණයක් රට පුරාම සිටින බව අරලිය ගහ මන්දිරයේදී පසුගිය සතියේ බැසිල් රාජපක්ෂ ගේ ප්‍රධානත්වයෙන් පැවැති ගම සමග පිළිසඳර වැඩසටහනේදී තමා පෙන්වා දුන් බවද ඇමැතිවරයා පැවසුවේ.

ඒ අනුව පානීය ජලය, වැසිකිළි සහ විදුලිය නොමැති පවුල් සඳහා මේ වසරේ සිංහල අලුත් අවුරුද්දට පෙර එම පහසුකම් නොමිලේ ලබාදීමට එහිදී තීරණය වී ඇත.