කොරෝනා ආසාදිතව පළාවිත් සැඟවී සිටි යුවලක් පොලිස් මෙහෙයුමකින් සොයා ගැනේ

February 9, 2021 at 8:31 AM

කොරෝනා ආසාදිත බවට තහවුරු වීමෙන් පසුව පළා ගොස් සැඟව සිටි යුවළක් කොස්වත්ත, පොතුඅටවන ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන රෝහල්ගත කිරීමට කටයුතු කර තිබෙනවා. ඒ කොස්වත්ත පොලිසිය විසින් සිදුකළ විශේෂ මෙහෙයුමකින් අනතුරුවයි.

සෞඛ්‍ය බලධාරීන් විසින් ලබාදෙන ලද තොරතුරු අනුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හැඳල, වත්තල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 25ක් වූ තරුණයෙක්.

ජා – ඇල ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවක සේවයේ නියුතු අයෙකු වන මෙම තරුණයා එහිදී සිදුකළ පීසීආර් පරීක්ෂණයකින් අනතුරුව කොරෝනා ආසාදිත බවට තහවුරු වී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කර සිටියේ.

ආසාදිත බවට තහවුරු වීමෙන් අනතුරුව එම පුද්ගලයා සිය බිරිඳ සමග පළාවිත් කොස්වත්ත ප්‍රදේශයේ නිවසක සැඟව සිටිය දී මෙලෙස පොලිස් භාරයට ගෙන ඇත්තේ.

අදාළ තරුණයා දංකොටුව රෝහටත් කාන්තාව මාරවිල රෝහල වෙතත් ඇතුළත් කිරීමට කටයුතු කළ බව පැවසූ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ඔවුන්
ප්‍රතිකාර ලබා දීමෙන් අනතුරුව නිරෝධායන නීතිය යටතේ කටයුතු කිරීමට අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවද සඳහන් කර සිටියා.