ඇතැම් නිලධාරිනියන් පෞද්ගලික ප්‍රතිරූපය ගොඩනගා ගැනීමට උන්මත්තකයින් සේ කටයුතු කරනවා – වනසංරක්ෂණ ඇමති පාර්ලිමේන්තුවේදී කියයි (VIDEO)

February 9, 2021 at 2:26 PM

ශ්‍රී ලංකාවේ වඳ වී යාමේ තර්ජනයට මුහුණ පා ඇති දුර්ලභ ශාකයක් වන ක්‍රොඩියා සෙයිලනිකා ශාකය ආරක්ෂා කර ගැනීමට ගම්පහ දිස්ත්‍රික් අඩවි වන නිලධාරිනි දේවානි ජයතිලක හුදෙකලා සටහනක් රැගෙන යන බවට පෙන්වීමට උත්සහ දරන බවත් ඇතැම් අය පෞද්ගලිකව ප්‍රතිරූපයන් ගොඩනගා ගැනීමට උන්මත්තක ලෙස කටයුතු කරන බව වනජීවී සහ වනසංරක්ෂණ අමාත්‍ය සී.බී. රත්නායක අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර සිටියා.

ගම්පහ, දාරලුව ප්‍රදේශයේ පිහිටා ඇති මෙම දුර්ලභ ක්‍රොඩියා සෙයිලනිකා ශාකය අධිවේගී මාර්ගය ඉදිකිරිම හේතුවෙන් වෙනත් ස්ථානයකට උගුල්ලා ගොස් සිටුවීමට සුදානම් වන බවත් එය ආරක්ෂා කර ගැනීම සඳහා රාජ්‍ය නිලධාරිනියක් වන දේවානි ජයතිලක තනිවම සටනක් සිදුකරන බැවින් ඒ සඳහා සහය දැක්වීමට වනජීවී සහ වනසංරක්ෂණ අමාත්‍යාංශය ලෙසට කටයුතු කළ යුතු බවට පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර විසින් පාර්ලිමේන්තුවේ දී නගන ලද පැනයට පිළිතුරු දෙමින් අමාත්‍ය සී.බී. රත්නායක මේ බව ප්‍රකාශ කර සිටියා.

මේ වන විට සිය අමාත්‍යාංශයේ ලේකම්වරයා මෙන්ම මහා මාර්ග අමාත්‍යාංශයේ ලේකම්වරයා එම ස්ථානයට ගොස් ඇති බවත් පවතින තාක්ෂණය සහිතව එම ශාකයයට හානියක් නොවන සේ එය එම ස්ථානයෙන් ඉවත් කරලීමේ හැකියාවක් ඇත්නම් ඒ ගැන කටයුතු කරන බවත් නොඑසේනම් ඊට සුදුසු පියවර ගැනීමට කටයුතු කරන බවද මෙහිදී අමාත්‍යවරයා පාර්ලිමේන්තුව හමුවේ කියා සිටියා.