කාදිනල් හිමිපාණන් ජනපතිගෙන් පාස්කු කොමිසමේ පිටපතක් ඉල්ලයි

February 8, 2021 at 8:09 PM

පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කළ ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාවේ ඇතුළත් නිර්දේශ පිළිබඳ කඩිනමින් තමා දැනුවත් කරන්නැයි අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ. උන්වහන්සේ මේ බව දන්වා ඇත්තේ ජනාධිපතිවරයා වෙත විශේෂ ලිපියක් යොමු කරමින්.

2019 අප්‍රේල් 21 වනදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාර මාලාව පිළිබඳ විමර්ශනය කළ ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාව ඉකුත් 01 වනදා කොමිසමේ සාමාජිකයින් විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාරදෙනු ලැබුණා.

අනතුරුව පසුගිය නිදහස් සමරු උළෙලේ දී ජනාධිපතිවරයා ජාතිය අමතමින් කියා සිටියේ එම අවසන් වාර්තාවේ ඇති නිර්දේශ ක්‍රියාත්මක කිරීමට තමා පියවර ගන්නා බවයි.

එම ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාවේ ඇතුළත් නිර්දේශ පිළිබඳ කඩිනමින් තමා දැනුවත් කරන ලෙසත් කොමිසමේ අවසන් වාර්තාවේ පිටපතක් තමන් වෙත ලබාදෙන ලෙසත් කාදිනල් හිමිපාණන් එම ලිපියෙන් ඉල්ලා තිබෙනවා.

මේ අතර පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කළ ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාව කඩිනමින් සභාගත කරන ලෙස විපක්ෂයේ මන්ත්‍රිවරුන් ඉල්ලීමක් කර තිබෙනවා. ඒ පාර්ලිමේන්තුවේ අද (08) පැවති පක්ෂ නායක රැස්වීමේදී.