කුලී පදනම මත ගන්නා වාහන අංක තහඩු වෙනස් කොට විකිණීමේ ජාවාරමක තොරතුරු හෙළිවේ

February 8, 2021 at 4:36 PM

කුලී පදනම මත ලබාගන්නා වාහන, අංක තහඩු වෙනස් කර අලෙවි කිරීමේ ජාවාරමක් පිළිබඳ තොරතුරු අනාවරණය කර ගැනීමට බස්නාහිර දකුණ විශේෂ විමර්ශන ඒකකය සමත්ව තිබෙනවා. ජවාරමට සම්බන්ධ 26 හැවිරිදි සැකකරුවෙකු රාජගිරිය ප්‍රදේශයේදී ඊයේ අත්අඩංගුවට ගෙන ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කර සිටියා.

යම් අයිතිකරුවෙකු කිසියම් ආයතනයකට සිය වාහනය කුලී පදනම මත ලබා දීමෙන් පසු මොවුන් එම වාහනය ලබා ගෙන එවැනිම වර්ගයේ වෙනත් වාහනයක අංකය භාවිත කරමින් එහි නියම අංකය ඉවත් කර තවත් පාර්ශවයකට අලෙවි කරමින් මෙම ජාවාරමේ නිරතව ඇත.

විවිධ වර්ගයේ මෝටර රථ සහ වෑන් රථ සඳහා භාවිත කරන ගොනු 40 කට ආසන්න සංඛ්‍යාවක් ද සැකකරු සන්තකයේ තිබී සොයා ගෙන ඇති අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, අංක තහඩු ලබා ගැනීමට ඉදිරිපත් කරන ආකාරයේ ව්‍යාජ පැමිණිලි පිටපත්, වාහන ලියාපදිංචියට උපයෝගි කර ගන්න ගොනු ඇතුළු ලේඛන ද ඒ අතර වන බවයි.

සැකකරුගෙන් ප්‍රශ්න කිරීම්වලදී ජාවාරමට සම්බන්ධ තවත් සැකකරුවන් පිළිබඳව ද තොරතුරු හෙළි වී ඇත.

තවද මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ තිබිය යුතු වාහනයක මුල් ගොනුවක් ද සැකකරු සන්තකයේ තිබී සොයා ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ.

වාහනවල ලියකියවිලි තවත් පාර්ශවයක් වෙතට පත් කිරීමේදී ප්‍රවේසමෙන් කටයුතු කරන ලෙස පොලිසිය මහජනතාව ගෙන් ඉල්ලා සිටිනවා.