අද දිනයේ කොවිඩ් ආසාදිතයින් 878ක් : බ්‍රිතාන්‍යයේ සිට පැමිණි 06 දෙනෙකුටත් වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වේ

February 8, 2021 at 11:52 PM

මෙරට සමස්ත කොරෝනා -19 වෛරසය ආසාදිතයින් සංඛ්‍යාව 70,000 ඉක්මවා ගොස් තිබෙනවා. ඒ අද දිනයේදී නව ආසාදිතයින් 887 දෙනෙක් වාර්තා වීමත් සමගයි. අද දිනය අවසානය වන විට මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 70,235ක් වන අතර ඉන් රෝහල් ගතව සිටින සංඛ්‍යාව 5,729ක් වනවා. සුවය ලබා ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 64,141ක් බවයි වසංගත රෝග විද්‍යා අංශයේ පැවසුවේ.

අද දිනයේදී වාර්තා වූ ආසාදිතයින් ගෙන් 859 දෙනෙකු පෑලියගොඩ මත්ස්‍ය සංකීර්ණය ආශ්‍රිතව ව්‍යාප්ත වෙමින් පවතින කොවිඩ් පොකුරේ ආසාදිතයින් වන අතර තවත් ආසාදිතයින් 19 දෙනෙකු බන්ධනාගාර පොකුරට සම්බන්ධ බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කර සිටින්නේ.

මීට අමතරව විදේශ ගතව සිට මෙරටට පැමිණි පුද්ගලයින් 09 දෙනෙකුට ද වෛරසය ආසාදනය වී ඇති බව හඳුනා ගෙන තිබෙනවා.

ඒ අතර බ්‍රිතාන්‍යයේ සිට පැමිණි 06 දෙනෙකු, රුසියාවේ සිට පැමිණි පුද්ගලයෙක්, කටාර් සහ කුවේට් සිට පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු ද වන බවයි වාර්තා වන්නේ.

මේ අතර අද දිනයේදී කොවිඩ් -19 ආසාදිත මරණ 09ක් වාර්තා වූ අතර ඒ සමග මෙරට සමස්ත කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 365ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.