වාහන සහ යතුරුපැදි අමතර කොටස් සොරකම් කිරීමේ ප්‍රවණතාවයක් : බම්බලපිටියේ වාහනයක සිදුවූ දේ මෙන්න (VIDEO)

February 6, 2021 at 12:46 PM

වාහන ආනයනය තහනම් කිරීමත්, අමතර කොටස් ආනයනය සීමාවීම නිසා මෝටර් රථ, යතුරුපැදි, ත්‍රීරෝද රථ සොරකම් කර කෑලි ගලවා විකිණීමේ ප්‍රවණතාවක් රට පුරාම වාර්තා වන බව පොලිසිය පවසනවා.

කොරෝනා වයිරස ව්‍යාප්තියත් සමග සුළු වැරැදිවලට සම්බන්ධ දසදහසකට අධික පිරිසක් බන්ධනාගාරවලින් මුදා හැර තිබේ. ඔවුන් අතුරින් මතට ලොල් වූ පිරිස් විසින් මෙම වාහන සොරකම් කර අලෙවි කිරීමේ ජාවාරම සිදු කරන බවද විමර්ශනවලදී හෙළි වී ඇත්තේ.

මේ අනුව පසුගිය දෙසැම්බර් මාසයේ පමණක් යතුරුපැදි 68ක්, ත්‍රිරෝද රථ 65ක්, කාර් රථ 08ක් වශයෙන් දිවයිනේ විවිධ ප්‍රදේශවලින් සොරාගෙන ඇති බවට පොලිසියට පැමිණිලි ලැබී තිබේ.

ආපදාවට ලක් වන වාහනවල අමතර කොටස් සොයා ගැනීමට අපහසු අවස්ථාවලදී මෙම ජාවාරම්කරුවන්ට අවශ්‍ය ඇණවුම ලබාදුන් පසු ඊට සරිලන වාහන සොරකම් කර අදාළ ගරාජ්වලට ලබා දෙන බවට තොරතුරු ලැබී ඇත. මේ ආකාරයට පසුගිය සතියේ මත්තේගොඩ පොලිස් බල ප්‍රදේශයේ දී සුඛෝපභෝගී කාර් රථයක් සොරකම් කර වෙන්නප්පුව ප්‍රදේශයේ ගරාජයක සඟවා තිබියදී පොලිසිය සොයා ගත්තේය. එහිදී අනාවරණය වුණේ අනතුරට ලක් වූ කාර් රථයකට අවශ්‍ය අමතර කොටස් සොයා ගැනීමට නොහැකි වූ තැන අදාළ කාර් රථය සොරකම් කර රුපියල් ලක්ෂ දහ තුනකට එම ගරාජයට අලෙවි කර ඇති බවයි. මීට අමතරවද කොටහේන ප්‍රදේශයෙන් ත්‍රිරෝද රථ සොරකම් කළ කල්ලියක්ද පසුගියදා පොලිසියේ අත්අඩංගුවට පත් විය.

මෙම සොරකම් වැඩිපුර වාර්තා වන ප්‍රදේශවල දැඩි අවධානයෙන් සිටීම සඳහා පොලිස් නිලධාරීන් යොදවා ඇති බවද නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසීය.

උපරිම ශක්තිය යොදා එම ක්‍රියා මැඬපවත්වා සැකකරුවන් නීතිය හමුවට ගෙන ඒමට ක්‍රියා කරන බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියා.

මේ අතර බම්බලපිටිය ප්‍රදේශයේ මාර්ගයක නවතා තිබු වාහනයක පැති කණ්නාඩි සොරකම් කරන අයුරු අසල පිහිටි CCTV ආරක්‍ෂිත කැමරාවක සටහන්ව තිබුනේ මේ අයුරින්.

(මෙම පුවත සඳහා අරුණ පුවත්පතේ උපුටා ගැනීම් සිදුකර ඇත)