ජනපතිගේ ප්‍රශ්න හමුවේ නිරුත්තරවූ නිලධාරීන් : මාස 04කින් යලි එනවිට සියලු දේ සකස් කර තබන්නැයි උපදෙස් (VIDEO)

February 6, 2021 at 9:54 PM

ජනතාව අතරට ගොස් ගැටලු හඳුනාගෙන විසඳුම් ලබාදීම තම ක්‍රමවේදය බවත් එම විසඳුම් තමා පෞද්ගලිකවම පසුවිපරම් කරන බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කර සිටිනවා.

ගම සමඟ පිළිසඳර 9 වැනි අදියරට අද (06) එක් වෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර සිටියා.

එහිදී සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගතිය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විමසූ අවස්ථාවේ ඇතැම් රාජ්‍ය නිලධාරින් පිළිතුරු දිය නොහැකිව අපහසුතාවට පත්වන අයුරු ද දක්නට ලැබුණා.

ප්‍රදේශයේ පාලම ඉදිකිරිම සම්බන්ධයෙන් සිදුකළ කරුණු විමසීමකදී එම නිලධාරීන්ට ජනාධිපතිවරයාට නිසි පිළිතුරු ලබාදීමට නොහැකිවූ අතර, පානිය ජල යෝජනා ක්‍රමයක් සම්බන්ධයෙන් ව්‍යාපෘතිය භාර නිලධාරිවරයා අද දිනයේදී එම ස්ථානයට නොපැමිණි සිටීම සම්බන්ධයෙන් ද ජනාධිපතිවරයා විශේෂ අවධානය යොමු වුවා.

සිය පාසැලේ තිබෙන පරිගණක 06 කින් 04ක්ම මේ වන වීට භාවිතයට ගැනීමට නොහැකි ලෙස දෝෂ ඇතිවී තිබෙන බවට පාසැල් ශිෂ්‍යාවක් ජනාධිපතිවරයාගේ අවධානයට යොමු කර සිටියා. එහිදී ජනාධිපතිවරයා කියා සිටියේ එලෙස දෝෂ සහිත පරිගණක පාසැල තුලදීම විවෘත කොට එහි ඇති අන්තර්ගතයන් සහ උපාංග පිළිබඳව දරුවන්ට දැනුමක් ලබාදීමට පියවර ගැනීම සුදුසු බවයි.

ඒ අනුව මෙම වැඩසටහනට සහභාගිවී සිටි අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා ජනාධිපතිවරයාට සිය ස්තුතිය පුදකරමින් එය ඉතා කාලෝචිත යෝජනාවක් බවත් අදාළ කටයුතු හැකි ඉක්මනින් ක්‍රියාවට නැංවීමට අවශ්‍ය පියවර ගන්නා බවයි.

ප්‍රදේශයේ පාසල සඳහා ගමනා ගමන අවශ්‍යතාවයන් වෙනුවෙන් ත්‍රිරෝද රථයක් පරිත්‍යාග කිරීමට තමන් පියවර ගන්නා බවද මෙහිදී ජනාධිපතිවරයා කියා සිටියා.

අදින් මාස 04 ක් ගතවූ තැන තමන් නැවත මෙම ප්‍රදේශයට පැමිණෙන බවත් එවිට අද දිනයේදී සාකච්ජා කළ සියලු ගැටළු සඳහා පිළිතුරු ලද අයුරින් ක්‍රියාවට නංවා තිබිය යුතු බවද ජනාධිපතිවරයා අවධාරණය කර සිටියා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන “ගම සමඟ පිළිසඳර” 9 වන අදියර අද ක්‍රියාත්මක වුණේ කෑගල්ල දිස්ත්‍රික්කයේ දැරණියගල ආසනයේ දික්ඇල්ලකන්ද ග්‍රාම නිලධාරි වසම කේන්ද්‍ර කර ගනිමිනි.