අවුරුදු 60ට වැඩි පුද්ගලයින්ට කොවිඩ් එන්නත ලබාදීම ඉක්මන් කරන්න : රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

February 5, 2021 at 1:27 PM

මෙරට වයස අවුරුදු 60ට වැඩි අය සඳහා කොවිඩ් එන්නත්කරණ වැඩපිළිවෙල කාර්යක්ෂ කළ යුතුව ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වා දෙනවා. කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් එම සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ අද පැවසුවේ කොවිඩ් මරණවලින් 70%ක් පමණ අවුරුදු 60ට වැඩි ආසාදිත වැඩිහිටි අයගෙන් වාර්තා වන බවයි.

“මේ වනවිට කොවිඩ් වෛරසය ආසාදනය වී සිටින අයගෙන් අවුරුදු 60ට වැඩි අය වාර්තා වී ඇත්තේ 10%ක් වැනි ප්‍රතිශතයක් වුණත් මරණ වැඩි වෙමින් තිබෙන්නේ එම 10%ක් වැනි සුළු ප්‍රතිශතයෙන් වන නිසා වයස අවුරුදු 60ට වැඩි අය සදහා එන්නත්කරණ වැඩපිළිවෙල කාර්යක්ෂම කළ යුතුයි.”

එම වයස් කණ්ඩායම අතර ආසාදිතයින් වැඩිවුවහොත් අසාමාන්‍ය ලෙස මරණ ද ඉහළ යාහැකි බවට ද ඔහු අවධාරණය කර සිටිනවා.

මේ මොහොතේ රෝගය වැඩි වශයෙන් ව්‍යාප්තියට විවාහ උත්සව සහ ප්‍රිය සම්භාෂණ වැනි වැඩි පිරිසක් එකතුවන අවස්ථා හේතුවෙමින් තිබෙන බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වා දෙන්නේ.

මෙහිදී රෝගීන් සඳහා ලබා දෙන එක්මෝ ප්‍රතිකාර ඉතා සීමිත හෙයින් සෙසු පහසුකම් වැඩි කරන අතර එක්මෝ ප්‍රතිකාර ගැනද තාක්ෂණික තීන්දු ගෙන එම පහසුකම් වැඩි කිරීමට බලධාරීන් කටයුතු කළ යුතුව ඇති බව ද මෙහිදී වෛද්‍ය හරිත අලුත්ගේ සඳහන් කර සිටියා.

පසුගියදා කොවිඩ් ආසාදිතව මියගිය රාගම රෝහලේ වෛද්‍ය ගයාන් දන්තනාරායන IDH රෝහලේ සිට කරාපිටිය ශික්ෂණ රෝහල වෙත ගෙන ගොස් තිබුණේ IDH රෝහලේ එක්මෝ ප්‍රතිකාර පහසුකම් නොමැති බැවින් බවයි මෙහිදී සිහිපත් කෙරුණේ.