අධි චෝදනා භාරදීමෙන් පසු රවිට සහ අර්ජුණට ඇප නියම වේ

February 5, 2021 at 12:12 PM

අල්ලස් චෝදනා එල්ල වී සිටින හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක සහ පර්පචුවෙල් ටේ‍රෂරීස් සමූහ අධ්‍යක්ෂ අර්ජුණ ඇලෝසියස්ට කොළඹ මහාධිකරණයේදී අධිචෝදනා පත්‍ර භාර දී තිබෙනවා.

ඉන් අනතුරුව ඔවුන්ව රුපියල් ලක්ෂ 5 බැගින් වූ මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප මත මුදා හැරීමටයි මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැදිගේ නියෝග කළේ.

2016 වසරේ පෙබරවාරි 12 වන දා සහ එම වසරේ සැප්තැම්බර් 30 වන දා දක්වා කාලසීමාව තුළ මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් නඩුවේ දෙවන විත්තිකරු වන අර්ජුණ ඇලෝසියස්ගේ නමට ලබාගෙන තිබූ මොනාර්ක් නිවාස සංකීර්ණයේ පදිංචිව සිටීම තුළින් අල්ලස් පනත යටතේ වරදක් සිදුකර ඇති බවටයි හිටපු මුදල් අමාත්‍යවරයාට චෝදනා එල්ල වී ඇත්තේ.

ඊට අමතරව මොවුන් දෙදෙනාට තමන්ගේ විදෙස් ගමන් බලපත්‍ර අධිකරණයට භාර දෙන ලෙසද නියෝග කෙරුණා.