ශ්‍රී ලංකා ක්‍රිකට් සංවර්ධනය සඳහා තාක්ෂණික උපදේශක කමිටුවක් පත් කෙරේ : සභාපති අරවින්ද ද සිල්වා

February 5, 2021 at 2:56 PM

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ දියුණුව සඳහා තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශයට තාක්ෂණික උපදේශක කමිටුවක් තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ විසින් අද දිනයේදී සිදුකර තිබෙනවා.

එම කමිටුවේ මූලික කාර්යභාරය වනුයේ අමාත්‍යවරයාට, අමාත්‍යාංශ නිලධාරීන්ට සහ ජාතික ක්‍රීඩා සභාවට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට අදාළ සියලු කරුණු පිළිබඳව උපදෙස් ලබා දීමයි.

එම කමිටුවේ සභාපතිවරයා ලෙස අරවින්ද ද සිල්වා පත් කර තිබෙනවා. රොෂාන් මහානාම, මුත්තයියා මුරලිදරන්, කුමාර් සංගක්කාර එම කමිටුවේ සෙසු සාමාජිකයින් වනවා.

දේශීය හා ජාත්‍යන්තර වශයෙන් ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රමිතිය නංවාලීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් සමඟ සමීපව කටයුතු කර එමඟින් ශ්‍රී ලංකාව තුළ ඉහළ මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩාවක් ගොඩනැගීම හා පුහුණු කිරීම අවශ්‍ය මග පෙන්වීම මෙම කමිටුව හරහා ප්‍රධාන වශයෙන් බලාපොරොත්තු වන කටයුත්තක්.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තුළ ක්‍රියාත්මක තාක්ෂණික උපදේශක කමිටුව වෙතද මෙම කමිටු සාමාජිකයින්ගේ නම් යොදා ගන්නා ලෙස ක්‍රීඩා අමාත්‍යවරයා විසින් යෝජනා කර තිබෙනවා.